Showing posts with label මතක මන්දිර. Show all posts
Showing posts with label මතක මන්දිර. Show all posts

Sunday, November 27, 2011

බුලත්සිංහල සර්....

වාසනාවකට වගේ උසස් පෙළ කරද්දි මට මිශ්‍ර පාසලකට යන්න ලැබුණානේ.අනේ අපරාදේ පොඩි කාලේ ඉඳන්ම එහෙම යන්න ලැබුණනම් හොඳයි කියලා ඔන්න එතකොටයි තේරුණේ...කොහොම වුණත් මම ගිහින් මාස 5 6 කට පස්සේ තමා ඉස්කෝලේ පාටවත් දැක්කේ...මොකද රැග් කරන්න එන කොල්ලන්ට බයේ හැංඟිලා ඉඳලා....හොඳ වෙලාවට අපි හිටියේ ලැබ් එක අස්සෙමයි....බුලත්සිංහල සර්ට බය නිසා කවුරුත් ඒ හරියට ආවේ නැහැ හොරගල් අහුල අහුල වටේට කැරකි කැරකි හිටියා මිසක්....

බුලත්සිංහල සර් කියන්නේ අපේ Chemistry Sir ....සර් හෝමගම හිටියේ..ඒ වගේම හුඟක් ප්‍රසිද්ධයි...ඇත්තටම මමයි මංජුයි (ලොකු නැන්දගේ දුව-ටාසන්http://siyaksithuwili.blogspot.com/2011/05/blog-post_23.html ) බයෝ කලේ කැමැත්තකින් නෙවෙයි....නැන්දලා මාමලා බාප්පලා සේරම  සයන්ස් කාරයෝ වෙච්ච නිසා ගෙදරින් ආපු බලපෑම් උඩ අපිට එහෙම කරන්න වුණා...අනික අපි තමා තුන්වෙනි පරම්පරාව මුලින්ම නියෝජනය කලේ අපේ පවුලේ...ඉතින් අපේ කරුමෙට ඒක එහෙම වුණා....වැඩි හරියක්ම එත‍කොට අපේ චූටි බාප්පා පේරාදෙණි කැම්පස් හිටපු නිසා...අපිට එයාගෙන් අහගන්න පුල්වන්..වගේම එයාට Chemistry කලෙත් බුලත්සිංහල සර් නිසා ඔන්න කට්ටියම කිව්වා බයෝ කරපල්ලා කියලා...ඒත් සර්ට ඒක කොහොම හරි කණට වැටිලා තිබ්බා අපේ ගෙදරින්ම...ඒ නිසා මුල්ම කාලේ සර් පංතියට ඇවිත් මොකක් හරි දේකට කේන්ති ගියාම කියන්නේ “ආච්චිලා සීයලා නැන්දලා මාමලා කිව්වට බයෝ කරන්න ආපු එවුන් ඉන්නවනම් අන්න දොර” කියලා...



බුලත්සිංහල සර් හරිම සැරයි...එයාගේ ස්වරූපය කියනවනම් කැප්ටන් හැඩොල්ක් වගේමයි...කිසිම වෙනසක් නැහැ...සර් සැර නිසා Chemistry period එක වෙලාව එනකොට අපි ඉන්නේ ඇඟේ මවිල් කෙලින් කරගෙන...සිකුරාදා  Chemistry Period 4ක් තිබ්බා උදේ වරුවේ එක දිගටම අපිට..ඒ කාලේ පංතියේ පේළි මාරුවෙන ක්‍රමයක් තිබ්බ නිසා එදා දවසේ ඉස්සරහා පේළියේ ඉන්න එවුන් දෙයියෝ බුදුන් සිහි කරගෙන තමා ඉන්නේ බයටම තක්බීර් වෙලා...මොකද සර් බලාගෙන ඉන්නකොට අපිට ලියවෙන්නෙවත් කථා කෙරෙන්නෙවත් නැහැ...

ඒත් සර් ගෑණු ලමයින්ට අතින් නම් ගහන්නේ නැහැ...මොකද සර් කොච්චර සැර වුණත් ගෑණු ළමයි අඬනව දකින්න සර් කැමති වුනේ නැහැ..අඩිරූල අරගෙන අනිත් පැත්තට හරවලා ඒ කියන්නේ දාරේ පැත්ත...ඇගිලිඇට ටිකට තමා සර් දෙන්නේ පාර...තරු විසි වෙන්න..පිරිමි ලමයින් නම් සර්ට වඩා උස මහත වුණත් සර් හොඳටම පත බානවා...අපේ පංතියේ එක පිරිමි ලමයෙක්ගේ පොත සර් හැමදාම වගේ එලියට විසික් කරනවා ගෙදර වැඩ කරන්නැතිව...ඒත් සර් කොච්චර සැර වුණත් කොච්චර ගැහුවත් හැමෝම සර්ට කැමතියි..ගරු කලා...
ගෑණු ළමයින්ට නම් සර් දුන්න ලොකුම දඬුවම තමා පරිච්ඡේද 2 ක් විතර හිටගෙන ඉන්න දුන්න එක...ඒත් වෙලාවකට හිටගෙන හිටියත් සර් කියන ඒවට අපිට හිනා යනවා...මුල් දවස් වල මමයි මංජුයි එක ලඟ වාඩි වුනේ...ඒත් අපි දෙන්නා නැගිට්ටවපු වෙලාවට එක ලඟට වෙලා සර් කියන ඒවට හිටගෙන හිනා වෙන නිසා මොකද තොපි දෙන්නා විරිත්තන්නේ කියලා...ඔන්න අපි දෙන්නාව දෙපොලකට දැම්මා පංතියේ...අපි දෙන්න ගෙදර ගිහින් දවසක් ඕවා කථාවෙනකොට අපේ ලොකු මාමාට සර් ගැන කේන්ති ගිහින් එන්න හැදුවා ඉස්කෝලෙට..ඒත් අපි තේරුම් කරලා දුන්නා එහෙම කලාට ලමයි සර්ට කොච්චර කැමතිද කියලා...
අපේ පන්තියේ ලමයින්ට සින්දු පිස්සුව ...නිසදැස් පිස්සුව තිබ්බා ඒ කාලේ හොඳටම උග්‍ර වෙලා...අපේ පන්තියේ කෙළවරවල් දෙකේම බිත්ත් වලම කළු ලෑලි 2ක් තිබ්බ නිසා ගුරුවරු පරිහරණය කලේ ඉස්සරහා තිබ්බ එක විතරයි..ඔන්න අපේ එවුන් පටන් ගත්තා උදේ පාන්දර කුකුලත් අතේ තියන් ඇවිත් පිටිපස්සේ බිත්ති කළු ලෑල්ලේ කුරුටු ගී ලියන්න..මේක ගැහැණු පිරිමි භේදයක් නැතිවයි සිද්ධ වුණේ...මේ කළු ලෑල්ල සිවිලිම ලඟට යනකම් වගේ තිබ්බ නිසා කට්ටිය වවුලො වගේ එල්ලිලා මේකේ ප්‍රේම ගී විරහ ගී කුරුටු ගාන්න ගත්තා.
ඔන්න දවසක් සර් උදෙන්ම ආවා පංති කාමරයට...දොර ගාව ඉඳන්  බලාගෙන හිටියා අත් දෙකත් පිටිපස්සේ තියගෙනම...,”මොක්කුද බොලව් මේ ප්‍රේමයෙන් ඔද්දල් වෙලා ඉන්නේ...මකපියව් බ්ලැක් බොර්ඩ් එක “කියලා සර් ගිගිරුවා...අනේ අපේ එවුන් ඉතින් උදේ ඉදන් කුරුටු ගාපුවා පණ කඩන් මකලා ඉවර වුණාට පස්සේ තමා සර් ආවේ පන්තිය ඇතුලට...
සර් ට ඕන වුනේ නැහැ අපි ගිරව් වගේ පොත කටපාඩම් කරනවාට...ඒ නිසා තමා සර් එච්චර සැර වුනේ...දෙයක් ප්‍රායෝගිකවම හරියට දැනගෙන ඉගෙනගන්නවනම් තමා සර් කැමති වුනේ..ඒ නිසා සර් ප්‍රශ්ණයක් ඇහුවත් ලමයි බයයි උත්තරය දැනගෙනත් උත්තර දෙන්න..සර් අලගිය මුලගිය තැන් අහන නිසා...
අපේ කට්ටිය පුරුදු වෙලා හිටියා පුංච් tape recordes තියාගෙන ඉන්න සර්ගේ period  එක වෙලාවෙදි  desk එක අස්සේ...ඒත් දවසක් මේකක් සර්ගේ අතටම අහුවුණා..ඒක පිරිමි ලමයෙක්ගේ ටේප් රෙකෝර්ඩර් එකක්..කරුමෙට මූ ඒකේ දෙබස් වගයක් රෙකෝර්ඩ් කරලා girl friend ගෙයි   bus එකේ යද්දි ඒකේ හිටපු couple එකක් කියපුවයි..සර්ට කේන්ති ගිහින් මුලු පන්තියෙම tape recordes එකතු කර ගත්තා...A⁄L exam ඉවර වෙලාම දෙමව්පියො එක්ක ඇවිත් අරන් යන්න කියලා...
සර් නැති වෙලා දැනට අවුරුදු 5 ක් 6ක් වෙනවා ඇති මගේ හිතේ..අපි එතකොට school out වෙලා විසිරිලා ගිහින් හිටපු නිසා සර්ගේ මරණය ආරංචි වුනේ නැහැ...ඒත් දැනගත්තම ඒ ගැන ගොඩක් දුක් වුණා...මේක ලියද්දි සර් වගේම උසස්පෙළ පන්තියේ අපිත් එක්ක හිටපු එරංගවත් මතක් වෙනවා..එරංග නැතිවුනේ උසස්පෙළ exam ඉවර වෙලා physics class එකෙන් උඩවලවේ trip එකක් ගිය වෙලාවක ඔරුව පෙරළිලා..එයත් එක්කම 12ක් අවසන් ගමන් ගියා මතක විදිහට ඒ අනතුරින්...එරංග ගේ දෙණ ඔසවන් යනකොට අපේ පංතියේ අයගේ අත් වලින්ම අපි ඇඬුවා හොඳටම...එරංගගේ අත් අකුරු හරීම ලස්සනයි...මගේ autograph එකේ ඒ ලස්සන අත් අකුරු වලින් එරංග ලියලා තිබ්බේ සුළඟේ ලෙලෙනා... මල් සේ දඟපා ...කියන ශාලිත ගේ සින්දුව ..
ආදරණීය වූ ඒ සැමට මේ ලිපිය උපහාරයක්ම වේවා...!

Monday, May 23, 2011

ටාසන්



මේ කාලේ අපිට අවුරුදු 5 ත් 6 ත් අතර වෙන්න ඕන මට මතක විදිහට....
අපේ හිත් වල මාධ්‍ය වීරයන් වෙලා හිටියේ දොස්තර හොද හිත..රොබින් හුඩ්...ටාසන් ...වගේ චරිත....

අපේ මහගෙදර වත්තේ (වහපු ගේට්ටුව) මහපාරට ලග කෙලවරක තිබ්බා අපේ සීයාගේ ගල් මෝල..
මේක බලා කියා ගත්තේ ‍ ප්‍රේමසිරි මාමා.ඉතින්  අපි (අපි කියන්නේ මායි . මංජුයි (වහපු ගේට්ටුව)) ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස් වෙනකොට වත්ත පුරා තියෙන පේර ගස්, දම් ගස් ,බෝවිටියා ගස් ,එරමිණියා ගස් එහෙම හූරගෙන කාලා මේ ගල් මෝල පැත්තට යනවා....
ඔන්න එදා තිබ්බා ගල් මෝල පැත්තකින් අර කොන්ක්‍රීට් දාන්න ගන්නේ තුන්කාලේ ගල්..අන්න ඒ ගල් ටිකක් ලොකු කන්දක් විතර සයිස් එකට ගොඩ ගහලා...ඒත් එක්කම එතන තිබ්බා උස තැඹිලි ගහක්..මේ ගහේ තැඹිලි අත්තක් බාගෙට කඩන් වැටිලා පැද්දි පැද්දි තිබ්බා යස අගේට...මේක දැකලා අපේ ප්‍රීතිය නිමක් නැහැ...පස්වනක් ප්‍රීතියෙන් ඉපිලි ඉපිලි මංජුයි මායි දඩිබිඩි ගාලා නැග්ගා ගල් ගොඩ උඩට....
ඔන්න දැන් අපි දෙන්නා මේ බාගෙට එල්ලෙන තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් (ඔයාලට මතක ඇති නේ ඒ කාලේ ටයිසන් තොටවත්තයන් හඩ කවපු ටාසන් ...මතක විදිහට ITN එකේ තමා පෙන්නුවේ)කරන්නයි ලැහැස්තිය.....තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් කෑගහන විදිහට කෑ ගහගෙන මංජු යනවා  ගල් ගොඩ උඩ ඉදලා පහලට ...ගිහින් තැඹිලි අත්ත අතාරිනවා..ඒක සුරුස් ගලා ආයේ ගල් ගොඩ උඩට ඇවිත් තමා නතර වෙන්නේ..ඊට පස්සේ මම ඒකේ එල්ලිලා කෑ ගහගෙන පහලට එනවා..ඔන්න ඔහොම අපි මාරුවෙන් මාරුවටයි ටාසන් කලේ...දැන් දෙතුන් පාරක් එහෙට මෙහෙට ගිහිල්ලා මංජු පහලට ගිහින් තැඹිලි අත්ත අතෑරියා විතරයි මාත් පැන්නා ටාසන් විදිහට කෑ ගහගෙන..
ඒත් !!! ඒ පාර තැඹිලි අත්ත අහු වුනේ නැහැ මගේ අතට...ගල් ගොඩ දිගේ උඩු බැලි අතට වැටිලා මාව පහලටම රූටගෙන යනවා මතකයි මට හීනෙන් වගේ...කොට ගවුම් කෑල්ලක් ඇදන් හිටියේ මම..මට සිහි නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගල් ගොඩ හිටපු මංජු දුවගෙන ඇවිත් ලේ පෙරාගෙන වැටිලා ඉන්න මගෙන් ..චමිලක්කේ චමිලක්කේ ඔයාට රිදුනද කියලා අහනවා මට හීනෙන් වගේ මතකයි...(පස්සේ කාලෙක අපිට වැඩියම හිනා ගියේ මංජු ගේ ඒ ඇහිල්ලට...) 
ඒ අස්සේ එයා කෑ ගහන කොට ප්‍රේමසිරි මාමා දුවගෙන ඇවිත් මට වතුර ටිකක් ඉහලා ...ඔන්න එතකොට යන්තම් මට සිහිය ආවා..මාව හරහට වඩා ගෙන ගෙදර අරන් එනකොට කට්ටියම (ඒ කාලේ අපේ නැන්දලාගෙන් වැඩි හරියක් තනිකඩ) කෑ ගහගෙන ආවා ඉස්සරහට...අපේ ටාසන් කෙරුවාව අහන් ඉදලා...කට්ටියම එහෙට මෙහෙට වුණාම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඔලුව මැද්දට හිල් වෙන්න ටොක්කක් ඇනලයි අපේ අම්මා මට බෙහෙත් දැම්මේ ඔන්න!!!!




පසු සටහන් - මේ ඉන්නේ මායි මංජුයි..ඔය තොප්පිය දාගෙන ඉන්නේ මම්..අපි දෙන්නාව වඩාගෙන ඉන්නේ මගේ ආච්චිලා දෙන්නා...මාව වඩාගෙන ඉන්නේ අපේ අම්මාගේ අම්මා..මංජුව වඩන් ඉන්නේ අපේ තාත්තාගේ අම්මා...අපේ අම්මලාට තාත්තලටත් වඩා අපේ සීයලාගේ ආච්චිලාගේ ආදරේටයි අපි තුරුල් වුනේ....මම හිතන්නේ එහෙම සීයලා ආච්චිලා අපිට ලැබුනේ පිනකට කියලා...

ඔය කියන අවදියේ photo එකකුත් ඇති අපි දෙන්නගේ ...ගල් මෝල ගාවදිම ගත්ත...මම ඒක හොයාගෙන දාන්නම්...මංජු ඒක ඔයා ගාවද?
 මෙන්න ඒක..ගල් මෝල නම් නැහැ ..හැබැයි මෝලේ ලොරිය තමා පේන්නේ ඔය පිටිපස්සෙන්.....

Monday, May 9, 2011

වහපු ගේට්ටුව....

රාජකාරි ජීවිතේ වෙන එව්වා ලියන්න ගත්තට මොකෝ..දැන් තමා ඒකේ අපහසුව තේරේන්නේ ඔන්න..අරයට මෙයාට අපහාස කළා කියලා නඩු file වෙන්න ඉඩකඩ බොහොම වැඩියි ..ආණ්ඩුවේ සේවකයෙක් වුණාම.ඒ නිසා මතක කථා මයි ලියන්න වෙන්නේ ඔන්න....


මේක 1980 දශකයේ අගභාගයේ එකක්...ඒ දවස් වල අපි හිටියේ මහ ගෙදර. මායි මංජුයි (අපේ ලොකු නැන්දාගේ දුව) එක වයසේ නිසා එකටමයි හැදුනේ වැඩුනේ....ගොඩක් වෙලාවට එකම වගේ තමා අපි ඇදුම් ඇන්දෙත්....ඉතින් අපේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා අපිව දැම්මා ගමේ පන්සලේ දහම් පාසලට...සීයා තමා ඒ පන්සලේ ප්‍රධාන දායකයා.ගොඩක් වෙලාවට එයා අපිව දහම්පාසල් එක්ක යනවා එයාගේ කලු පාට මොරිස් මයිනර් එකෙන්...ඉස්සර අපි ඒකට කිව්වේ ඉබි කට්ට කියලා..ඒ වුණාට ඒක හිමින් නම් යන්නේ නැහැ ඔන්න...අපි එක වසරේ ඉදලම දහම් පාසල් ගියා.

මෙන්න මේ කියන ඉරිදා දවසේ අපි දෙන්නට සිද්ධ වුණා පයින්ම ගාටන්න දහම් පාසලට..ඒක තියෙන්නේ පයින් යන දුර. අපේ සීයාගේ වත්ත අක්කර 25 ක්.ඒක ඉස්සර ආණ්ඩුකාරවරයෙකුටලු අයිති වෙලා තිබ්බේ..මේ වත්ත හරිම ලස්සනයි...දැන් චූටි බාප්පා ඒක තවත් ලස්සන කරලා තියෙන්නේ..ඉතින් මහ පාරේ ඉදලම මහ ගෙදරට යන කම් කිලෝමීටරයක් විතර දිගට අන්දර වැටියක් තියෙනවා හරිම ලස්සන. පොඩි වංගුවක් වගේ තියෙනවා මහ ගෙදරට හැරෙන්න..එතන ලොකු එල රඹුටන් ගහකුත් තියෙනවා...කථාවට යමුකෝ.
ඉතින් ලමා සාරි එහෙමත් ඇදගෙන මේ රඹුටන් ගහ යටට ට එනකොට එදා අපි දෙන්න ට හරිම කම්මැලි කමක් ආවා දහම් පාසල් යන්න...මතක විදිහට අපිට මල් වට්ටි වලට මල් කඩා ගන්නත් කම්මැලි හිතුණ නිසා මල් නැතිව දහම් පාසල් යන්නත් බයක් වගේ තිබ්බා...මහ ගෙදරත් පේන දුරින් තියාගෙන අපි දෙන්නා ගැටයක් ගැහුවේ එදා දහම් පාසල් යන එක cut කරන්න...දැන් නියපොතු හප හපා අපි කල්පනා කරනවා මේක කරන්නේ කොහොමද කියලා...ඔන්න ඉතින් ඔතනට වෙලා විනාඩි 10 ක් විතර නියපොතු ටික කාලා ඉවර කලාම අපිට ආවා idea එකක්. 

ඊට පස්සේ අපි දෙන්නා ආපහු හිමින් සැරේ ගෑටුවා මහ ගෙදර පැත්තට. යන කොට ගේ ඉස්සරහා ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ සියා හිටියා ඇල වෙලා පත්තරයක් බල බලා. අපි දෙන්නා දැකලා සීය ඇහුවා මොකද මේ ගිය පයින්ම කියලා...බොරුවක් ගොතාගෙන ආවට දැන් ඒක කියවෙන්නෙත් නැහැ.ඒත් බැරි මරගාතෙම අපි කිව්වා , අනේ සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා.මොකක් ? සීයා ඇහුවා. ඔව් සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා..අපි බලා ඉදලා ඉදලා  ඇරියේ නැති නිසා ආපහු ආවා කියලා අපි දෙන්නා වෙව්ල වෙව්ල කියා ගත්තා. සීයා මහ හයියෙන් ආච්චිට කෑ ගැහුවා..නෝනා ඔය කාර් එකේ යතුර ගෙනාවනම්..මෙන්න මුන් දෙන්නා කියනවා දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා...මට ඕන බලන්න මොන පන්සලේ ද ගේට්ටුව වහලා දාන්නේ කියලා..
අපි දෙන්නා මූණෙන් මුණ බලා ගත්තා..දැන් අපිට භාගෙට ඇඩිලා..අද නම් ඉවරෙටම ඉවරයි තමා...
වරෙල්ලා යන්න මාත් එක්ක කියලා සීයා නැග්ගා කාර් එකට...අපි දෙන්නත් ගිටාර් ගහනවා වගේ වෙව්ලන කකුලුත් අද්ද අද්ද ඒකට ගොඩ වුණා කියමුකෝ. දහම් පාසල පේන්න ඔන්න මෙන්න තියනකොට අපි දෙන්නා කලේ හූ කිය කියා අඩන එක...දහම් පාසල් යන්න බැහැ කියලා...මෙන්න දහම් පාසලේ ගේට්ටුවත් තියෙනවා පලු දෙකම හායි කියලා ඇරලා දාලා.කෝ බොලවු වහලා කියපු ගේට්ටුව සීයා ඇහුවා...

නායක හාමුදුරුවොත් හිටියා ආවාස ගෙයි ඉස්සරහම අපේ වෙලාවට උන් වහන්සේ එදා කොහෙවත් වැඩලා නැහැ. සීයා කිව්වා සමාව ඉල්ලලා වැදපියව් කියලා හාමුදුරුවන්ට.අපි දෙන්නා අඩා වැටි වැටි සමාව ඉල්ලලා පන්තියට ගියා හොටු පෙර පෙර...

හැබැයි එදායින් පස්සේ අපි කවදාවත් බොරුවක් නම් කියන්න තියා හිතුවෙවත් නැහැ. පස්සේ A/L එහෙම කරලා ඉවර වෙලා උසස් අධ්‍යාපනය හදාරණ කාලෙදි ..අපි කඩවල් ගානේ shopping කරලා පරක්කු වෙලා ගෙදර එන කොට රඹුටන් ගහ හරියෙදි මංජු මට කියනවා..අනේ චමිලක්කේ (නෑදෑයො මට කිව්වේ චමිලා කියලා. මගේ නම පතරංග ජාතකයක් වගේ දිගයි.මොකෝ පවුල් දෙකෙන්ම මුලින්ම හම්බ වුණු දරුවා මම නිසා කට්ටිය පැන පැන නම් දාලා තියෙන්නේ.වැඩිමල් වෙන එක තරම් කරුමයක් නම් තවත් නැහැ)ඔයා නම් කට අරින්න එපා මංම කියන්නම් කියලා මොකක් හරි...මොකෝ මගේ බොරු කියපු ගමන් අහු වෙන නිසා...
මේ තියෙන්නේ අපේ මහගෙදර...නවීකරණය කරලා තියෙන්නේ මේ සිමෙන්ති ගල් කෑලි වලින් විතරයි...අනෙක් සේරම පෙර පරිදිමයි...දැන් ඉන්නේ සිය පවුලත් එක්ක චූටි බාප්පා..අපේ තාත්තලාගේ පවුලේ සේරම සහෝදර සහෝදරියන් 9 යි...

Wednesday, May 4, 2011

හාමුදුරුවෝ නෙවෙයි.... - 2 කොටස

ඉතින්  Aquinas final exam කරලා ඉවර වුණාට පස්සේ අපේ යාලුවන්ගෙන් හුගක් අය ඈත් වුණා...පියරතන හාමුදුරුවෝ එක දවසක් ගෙදරට call  කරලා තිබ්බා මට. මම ගෙදර හිටියේ නැහැ එදා...ඒත් පියරතන හාමුදුරුවෝ new year cards, birthday cards..වෙසක් cards අවුරුදු 2 ක් විතර යනකම් අපේ ගෙදරට post කරලා..ඒවා මට ලැබුණා.ඒත් මට එව්වට ස්තූතිය ප්‍රකාශ කරන්නවත් මම ගාව හාමුදුරුවන්ගේ phone no එකක්වත් තිබ්බේ නැහැ.

මෙහෙම අවුරුදු 2 ක් 3ක් ගියා...දවසක් මම අම්මත් එක්ක පුංචි බොරැල්ලේ ගියා. සිරි ධම්ම මාවතට හැරිලා ටික දුරක් යනකොට අපේ පිටිපස්සෙන් උත්පලවණ්නා .උත්පලවණ්නා කිය කිය කවුරු හරි දුවගෙන එන අඩි සද්දයක් ඇහුණා... මම පිටිපස්ස හැරුණේ මේ බොරැල්ලේ මට උත්පලවණ්නා කියලා ආමන්ත්‍රණය කරන්න ඉන්නේ කවුද කියලා හිතන ගමන්මයි..මෙන්න කවුද එච්චරම උස මහත නැති  පිරිමි ලමයෙක් දුවගෙන එනවා කොට කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇදගෙන හති දාගෙන මගෙ නම කිය කිය!මායි අම්මයිත් නැවතිලා බලාගෙන හිටියා.අපේ අම්මත් මම දිහා රවන්න ගත්තා මේ මොකාද කියලා අහන්න වගේ ඒ පාර!
 දැන් ඔන්න මම ඉස්සරහා ඉදන් හති දදා හිනාවෙනවා...හිනාව .මූණ කට හොදට දැකලා පුරුදුයි.
උත්පලවණ්නාට මාව අදුනන්න බැරිද ? එයා ඇහුවා...ම්හ් මතක් කලා කලා මතක් වුනේම නැහැ.ඒත් කටහඩත් පුරුදුයි වගේ...
මම නෑ කිව්වා...ඒ පාර එයා ඉදන් කියනවා...මම තමයි පියරතන...Aquinas එකේ ඔයාලගේ class එකේ හිටියේ..උපාධිය ගත්තාට පස්සේ මට ****** ඉස්කෝලේ  teaching හම්බවුණා. දැන් මම මෙහෙ බෝඩිමක නැවතිලා ඉන්නේ...කඩේට යන්න ආවේ දවල්ට කෑම එකක් ගන්න එතකොට තමා අහම්බෙන් වගේ දැක්කේ ඔයාව කියලා...
දැන් මේ layer cut කපලා තිබ්බට..ඒ දවස් වල මට දිග කොණ්ඩයක් තිබ්බා..මගේ කොණ්ඩෙනුයි ගමනෙනුයි ලු මාව අදුණගත්තේ.දැන් නමප්‍රියන්ත ලු.
ඉතින් මේ මනුස්සයා මෙච්චර හරියක් කියද්දි මට පුලුවන් වුනේ..ආනේ එහෙමද හාමුදුරුවනේ...ඇත්තද හාමුදුරුවනේ..හොදයිනේ හාමුදුරුවනේ කිය කිය හූ මිටි තියන්න විතරයි...මෙයා ඒ හැම පාරම කියනවා දැන් නම ප්‍රියන්ත කිය කිය.ඒත් මට "හාමුදුරුවෝ" ඇරෙන්න වෙන මුකුත් කියවෙන්නේ නැහැ.
ඔන්න දැන් ..දවස් දෙක තුනකින් අපේ ගෙදරට call කලා මේ ප්‍රියන්ත.එතකන්ම මගේ phone no.එක  තියෙනවලු එයා ගාව.
ඉතින් මෙන්න අපේ දුරකථන සංවාදය..


ප්‍රියන්ත - හලෝ උත්පලා...මම ප්‍රියන්ත
මම - හානේ හාමුදුරුවනේ...ඉතින් ඉතින්
ප්‍රියන්ත - අපේ පන්තියේ කවුරුත් ඔයාට කථා කලේ නැද්ද..
මම - මේ ලගක් වෙනකම්ම කථා කලා..යාලුවෝ දෙතුන් දෙනෙක්..ලගදි නම් කථා කලේ නැහැ හාමුදුරුවනේ...
ප්‍රියන්ත - අයියෝ මම ප්‍රියන්ත අනේ..
මම - ආහ්...sorry sorry
ප්‍රියන්ත - ඉතින් දැන් මොනාද කරන්නේ...ගෙදරට වෙලා..
මම- මාත් ***** Ministry එකේ ...Saturday Sunday විතරයි ගෙදර ඉන්න වෙන්නේ හාමුදුරුවනේ.
ප්‍රියන්ත - ඔන්න ඔන්න ආයෙමත් හාමුදුරුවොලු
මම - ආහ්...sorry sorry ( මට දැන් මේක වදයක් වේ‍ගනයි එන්නේ.ඒත් මම හිතලා නෙවෙයි මේ හාමුදුරුවෝ කියන්නේ..ඉබේටම කියවෙනවා)
ප්‍රියන්ත  - මම දෙයක් කියන්න වැරදියට හිතනවද?
මම - නෑ හාමුදුරුවනේ
ප්‍රියන්ත  -ඉස්සර ඔයා කොණ්ඩේ දිගට ගොතලා...බිම ගෑවෙන්න දිගට සායවල් ඇදලා Aquinas එනකොට මට හරිම අමුතු හැගීමක් ආවේ ඔයා ගැන..ඔයා හිනාවෙන්නේ පොඩි ලමයෙක් වගේ...අමුතු වෙනසක් දැක්කා මම ඔයාගෙන් උත්පලවණ්නා..(වෙන්න ඇති..මොකද ඉස්සර මම අම්මා මහපු දිග full flared (ෆ්ලෙයාඩ් )සායවල් ඇදගෙන තමා හැම තැනකම ගියේ) ඔයාට මම එවපු cards ලැබුණාද?
මම - (මලා ජෝන් කොතලාවල කිව්වලු)...ඔව් හාමුදුරුවනේ
ප්‍රියන්ත - අනේ දැන් මම හාමුදුරුවො නෙවෙයි...
මම - ආහ්...sorry sorry හාමුදුරුවනේ


දඩාස්!!! මා ඇහුනේ එච්චරයි ..මගේ හිතේ Receiver එක හයියෙන් තිබ්බද කොහෙද? අනේ මම මක් කරන්නද හාමුදුරුවනේ! මට කියවෙන්නේම හාමුදුරුවෝ කියලමනේ මම හිතුවා.





Tuesday, May 3, 2011

හාමුදුරුවො නෙවෙයි..මේ මම ප්‍රියන්ත- 1 කොටස



 ඔන්න මේ කථාවත් එකමත් එක කාලෙක එකක්..


Aquinas English Diploma එක කරන්න මම ආවේ O/L  කරලා...කිව්වට මොකෝ Entrance Exam එකෙන් කෙලින්ම select වුනේ Intermediate level එකට...ඉතින් Intermediate level pass වෙලා Aquinas යන එක නැවැත්තුවා. Final කරන්න ආයේ මම Aquinas ආවේ A/L Exam ඉවර වෙලා...ඒ වෙනකොට මාත් එක්ක Intermediate level කරපු යාලුවෝ එක්කෙනෙක්වත් හිටියේ නැහැ.අලුත් අය තමා හිටියේ ඒ class එකේ
ඉතින් ඒ අය අතර බොහොම තරුණ හාමුදුරුවරු තුන් නමක් හිටියා .එක නමක් බුරුම..එක නමක් තායි..එක නමක් ලංකාවේ..ඒ නම පියරතන හාමුදුරුවෝ කියලයි හැදින්වුයේ අපි.ඉතින් මේ හාමුදුරුවරු තුන් නමම බොහෝම මිත්‍රශීලි වුණා අපිත් එක්ක.
අපිට උගන්වපු හැම lecture කෙනෙක්ම වගේ Retire වුණු English teachers  ලා...ඒ නිසා Grammar  වගේ subject boring වුණා අපිට..ඒත් Grammar කියන්නේ ආත්ම 7 ක් කලත් ඔච්චරනේ! නිසා අපි වැඩිය ගණන් ගත්තේ නැහැ.අපිට තිබ්බ subjects වලින් Literature තමා interesting ම subject එක වුනේ අපිට( කිසි දෙයක් තේරුනේ නැති වුනාට මොකෝ Final year එකේදි Literature වලට අපිට තිබ්බා Romeo Juliet..ඒ නිසා Aquinas Auditorium එකේදි Romeo Juliet Film එකත් බලන්න හම්බවුණා නොමිලේම ඔන්න).. Composition and Comprehension වලදි කොයි වෙලෙත් Dictionary එකක් අතේ තියෙන එක ඇගට ගුණ වෙච්ච හින්දා Oxford Mini Dictionary එකක් අරගෙන Ever ready පිට තමා අපි හිටියේ...
ඉතින් පොඩි කාලේ ඉදලා පොත පතට දක්වපු ආදරේ නිසාම මම කරන්නේ පොතක් අලුතින් ගත්ත ගමන් අනන්‍යතාවය තහවුරු කරගන්න එක..ඒ කියන්නේ මුල් පිටුවේ හරි අග පිටුවේ හරි මගේ නම ගම ජාතකේ සදහන් කරන එක...මොකෝ මම කියවන්න ආස නිසා ඉස්සර මට හැමෝම වගේ තෑගි වලට දුන්නේ පොත්...මගේ තිබ්බ නවකථා ලැයිස්තුවෙන් භාගයකටත් වඩා මගේ නෑදෑයින් අතින්ම එහෙට මෙහෙට වෙලා මට නැතිව ගිය නිසා තමා මම ඔය අනන්‍යතාවය තහවුරු කරගන්න වැඩේ පුරුදු වුනේ
ඉතින් මගේ Oxford Mini Dictionary... එකෙත් නම/ ගම/ උපන්දිනය/ ගත්ත දවස/address/telephone no (land phone no )එක සේරම දක්වලා තිබ්බේ..හදිසියේ පන්තිය ඇතුලෙදි එහෙට මෙහෙට වුනොත් සත්ගුණවත් ඇත්තන් ඒක මට නැවත ලබා දේවි කියන අරමුණින්...
ඉතින් කතන්දරේට යමුකෝ....


ඔන්න අපේ හාමුදුරුවන්ට තිබ්බේ නැහැ.Oxford Mini Dictionary එකක්...පියරතන හාමුදුරුවෝ ඒ නිසා ගොඩක් වෙලාවට මගෙන්  Mini Dictionary එක ඉල්ල ගන්නවා...දවසක් Composition වෙලාවෙදි මගෙන් ඒක ඉල්ල ගත්තා ..Composition  වලට අපිට හිටියේ බොහොම ප්‍රිය මනාප ලස්සනට පිළිවෙලට ඇදලා ඇට මාලයක් එහෙම දාගත්ත විනෝදශීලී ගුරුවරියෙක්...ඒ වෙලාවේ අපිට words ටිකක් දීලා ඒවයේ meaning එක එන විදිහට Sentences හදන්නයි තිබ්බේ..දැන් මම දන්නැති වචන ටිකක් තියෙනවා ..බලන්න විදිහක් නැහැ Dictionary එක හාමුදුරුවෝ ගාව...හාමුදුරුවනේ හාමුදුරුවනේ කිව්වා..ම්හූ මීක් සද්දයක් නැතිව කට්ටිය ඔලුව නමාගෙන වැඩ..මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...හාමුදුරුවෝ හිටියේ මට ඉස්සරහා පේළියේ හරියටම මගේ පුටුවට කෙලින් පුටුවේ..ඒත් මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...දැන් මට ඉවසන්න බැහැ කේන්තියි..ඇයි අනේ මගේ Dictionary එකෙන් මට වැඩක් ගන්න නැහැනේ...ඔන්න දැන් madam ත් එනවා අපේ පැත්තට...උඩ බලන් ඉන්නත් බැහැ....වෙන කෙනෙක්ට නම් ඇගට හරි තට්ටුවක් දාලා කථා කරන්න තිබ්බා.මේක එහෙම කරන්නත් බැහැනේ..මම පෑන අරගෙන පෑනෙන් හාමුදුරුවන්ට තට්ටුවක් දැම්මේ කරන්න දෙයක් නැති කමට....
Hey Uthpalawanna ! you shameless girl..why did you touch like that Rev. Piyarathana'? මහ හයියෙන් එහෙම ඇහුවේ අපේ Composition lecturer...මම හිතන්නේ ඒ වෙලේ මගේ කන් දෙකින් දුම් කෝච්චි 10 කවත් දුම් එක පාරට පිටවෙන්න ඇති කියලා.අනේ කූඹියෙක්වත් වුනා නම් වලකවත් හැංගෙන්න තිබ්බා...
අනේ නැහැ Madam මම Rev. Piyarathana ඇල්ලුවෙවත් නැහැ..මගේ Dictionary එක ගන්නයි පෑනෙන් තට්ටු කලේ..මට ඉතින් දන්න ඉංග්‍රීසියත් අමතක වෙලා සිංහලෙන්ම කියවුණා ...මට ඔන්න ඇඩෙන්න මෙන්න ඇඩෙන්න වගේ ලැජ්ජාවටම. "අනේ අනේ මේ උත්පලවන්ණාත් හිමිජ්ජා වගේ ඉදන් කරන වැඩ.." Composition lecturer කිව්වා.
( මගේ වාසගම තියෙන්නේ නම ඉස්සරහට වුනු නිසා register එකේ මගේ නම තිබ්බේ මුලකුරු වලට පස්සේ උත්පලවණ්නා කියලා.අපේ lectures ලත් ඉතින් මට ඒ නමෙන්ම තමා කථා කලේ දිග පළල බලන්නැතිව)
අපේ පංතියේ එවුන්ට මේක ඇති ඉතින් පණ යනකම් හිනාවෙන්න....ඕකෙන් මේකෙන් "උත්පලවන්ණා නැගණිය " කිය කියා අපේ පියරතන හාමුදුරුවොත් මාත් එක්ක බොහොම සමීප වුනා.

Wednesday, April 27, 2011

හදන්න හදන්න කැ‍ඩෙන තාප්පේ.......



මේක ඉතින් එච්චරම කථාවකුත් නෙවෙයි...ඒත් short and sweet නිසා ලියන්න හිතුණා...මොකද ඔය කියන තාප්පෙත් මගේ මතක සටහන් වලට අයිතියි....ඔය...හදන්න හදන්න කැ‍‍ඩෙන තාප්පේ..තිබ්බෙත් අනුරාධපුරේමයි....

ඔයාලා දන්නවනේ අනුරාධපුරේ කියන්නේ බොහොම සැලසුම් සහගත නගරයක් කියලා....පාසල් ටික එක පැත්තක...රාජ්‍ය අංශ .තව පැත්තක...වෙළද සංකීර්ණ එක පැත්තක...පූජනීය පෙදෙස තව පැත්තක..ඔන්න ඔය වගේ ‍බොහොම සැලසුම් සහගතව නිර්මාණය වෙලා තියෙන්නේ...

ඉතින් අපේ පාසලයි...ඒ කියන්නේ Convent  එකයි Central එකයි වෙන් වෙන්නේ එකම තාප්පෙකින්...මේ තාප්පේ එකම එක හරියකින් හැමදාම කැඩෙනවා...මුලින් පොඩ්ඩ පොඩ්ඩ කැඩිලා පස්සේ තාප්පේ මැද්දෙන් ලොකු හිලක් හැදෙනවා..ඊට පස්සේ පුපුරලා තාප්පේ එතනින් කඩා වැටෙනවා.අ‍පේ ඉස්කෝලේ පැත්තෙන් එතන තිබ්බේ කැන්ටින් එක...තාප්පේ අනිත් පැත්තේ ඒ කෙලින් Central එකේ play ground එක....මේ තාප්පේ කැඩෙන විදිහ කාටවත් හිතාගන්න බැහැ. අපි කැන්ටින් එකට ගියාම ෂූ ෂූ සද්ද ඇහෙනවා ඒත් පේන්න නැහැ කවුරුත්...ඉස්කෝල දෙකේම principal ලා එකතු වෙලා සැරින් සැරේ මේ තාප්පේ හදනවා..ඒත් පෙර පරිදිම මේක එම තැනින්ම කැඩෙනවා....මම හිතන්නේ අවුරුදු ගාණක් ගියත් තාම ඒක එහෙමම සිද්ධ වෙනවා ඇති....

Monday, April 25, 2011

නිසංසලාගේ Diary එක

මේක නම් මගේ පාසල් ජීවිතේ අමතක නොවන රසබර කථාවක්...
වසර 13 ක පාසල් ජීවිත‍යේ මම පාසල්  5 ක ඉගෙන ගෙන තියෙනවා...
 ඒ අතරින් සුන්දරම කාලේ තමා 9 වසරේ ඉදලා 11 වසර වෙනකම් මම අනුරාධපුර ස්වර්ණපාලියේ (Convent එකේ )හිටිය කලේ......


අපේ යාලුවෝ set එක 12 ක් නිසා අපි 12 shine කියලා අපේ group එකට නමකුත් දාගෙන හිටියේ.....මම කවදාවත් පන්තියේ 7 වෙනියාගෙන් පහළ ගිහින් නැහැ...අපේ අනිත් අයත් මොනවා හරි දේකින් නැටුම් සංගීතය නැත්නම් අත් අකුරු වලින් හරි කැපිලා පේන නිසා තමා ඒ නම දාගත්තේ...අපි ඒ කාලේ දග මලු.හැම දේකින්ම පාසලේ අපි තමා හිටියේ රජ වෙලා...


ඉස්කෝලේ දෙපැත්තේ පාර දිගටම  පාට පාට බෝගන්විලා පොකුරු පොකුරු පිපිලා....අරලිය ගස් වල් මල් පිරිලා හරිම සුවදයි...මතක් කරනකොටත් සුවදයි ඒ කාල් අදටත්...gate එකෙන් ඇතුල් වෙනකොටම ඉස්සරහාම තිබ්බා අතුපතර විහිදුණු දැවැන්ත කොහොඹ ගහක්. අපි උදේට ආපු ගමන් ඔතනදි බදාගෙන ඉඹගන්නවා..ඒ කාලේ අපි අපිටම ආවේණික වුණු සුවදවල් තිබ්බා...මම පිච්ච....ඉතින් අපි උදේට chat එක දාගෙන ඉන්නේ ඔතන.... ඒ කාලේ ඉතින් කොල්ලෙක් අපි දිහා බැලුවත් ඇතිනේ කියවන්න....අපි හැමදේම රස කර කර කියවනවා...අපේ හිත් වල කිසිම රහසක් නැහැ තිබ්බේ...ඔය කොහොඹ ගහට කථා කරන්න පුලුවන් නම් කියයි අගේට අපි කථා කරපු දේවල්....
ආ ...ඉතින් අපේ set එකේ නම් set එක තමා...සුජානි..ඒ මම...එරන්දි ..ඩිනූ...මංජු...ශානිකා...මොනාලිසා...පියංකා...පූර්ණිමා...පියංගනී...රසිකා..නිසංසලා...තරංගා...
ඉතින් අපේ හිත්වල රහසක් නැති නිසා අපේ set එකේම රහසක් නැති විදිහටයි අපි හිතන් හිටියේ...
කථාව පටන් ගත්තේ 10 වසරෙදි...නිසංසලා අපිට කියන්නේ නැතිව Central එකේ කොල්ලෙක් එක්ක යාලු වේලා ව්ත්තිය දැන ගත්තට පස්සේ...මේක වටින් ගොඩින් ඇවිත් අපේ කනට වැටුණාට පස්සේ අපිට තරහේ බැහැ....ඇයි යකෝ මෙච්චර කොල්ලේක් අපි දිහා බැලුවත් අපි කියන එකේ මේකි හිටියනේ මෙච්චර රහසක් හිතේ තියාගෙන අපි දැන් තරහේ පුපුරනවා..
දැන් ඒකි එනකොටම අපි කොහොඹ ගහ යට සංගමේ විසුරවනවා තරහට....


ඔන්න ඔහොම යනකොට අපේ පන්ති check කරන්න prefect අක්කලා වගයක් එනවා උදේට..අපේ school bags හි‍ටන් බලනවා කියලයි news එක ආවේ අපිට....මෙන්න බොලේ අපේ පන්තියෙත් කෙල්ලෝ ට්කක් එහෙට මෙහෙට නලියන්න ගත්තා...දන්නවනේ ඉතින් ඒ මොකෝ කියලා...කට්ටියක් අඩනවා...තව කෙල්ලෙක් wash room දුවනවා....ඔන්න ඔය අස්සේ තව කෙල්ලෙක් school bag එකෙන් මල්ලක් අවුස්සලා ලියුම් මිටියක් අරන් ඉරලා විසික් කලා පන්තියෙන් අනිත් පැත්තේ කොට බිත්තිය පැත්තෙන්...
අපේ නිසංසලාත් දගලා දගලා මොකක්ද මන්දා diary එකක් වගේ එකක් හංගනවා අපි බලාගෙන...
prefect අක්කලා ආවා අපේ පන්තියට...අර කෙල්ල ලියුම් ටික ඉරලා විසික් කරනකොට එහා පැත්තේ ඉදන් prefect අක්කෙක් ඉදලා..ඒ අක්කාගේ අතටමයි මේකි ඒ ටික දාලා තියෙන්නේ...අනේ දැන් අපිත් කට බලියන් ඉන්නවා වෙන දේවල් බලාගෙන...දැන් ඔන්න එව්වාට මෙව්වට අහු වෙච්ච අය එක්කන් ගියා wise principal ගාවට.....
අපිට දැන් මේ ලෝකේ සිහියක් නැහැ...මොකෝ දැන් අපි දන්නවා නිසංසලාගේ අපිට නොකියන රහස් තියන තැන....අපි බලන් හිටියේ කොයි වෙලාවෙද ඒක අපේ අතට පත් වෙන්නේ කියලා....
සිකුරාදා සිංහල සාහිත්‍ය සමිතිය...මම සභාපති හිටියේ මතක විදිහට....ඔන්න එදා පංති ටික සේරම හිස් වෙනකම් අපි බලා හිටියේ...අපේ පංතියේ මෙන්න ඉන්නවා එක්කෙනෙක් ඔලුව රිදෙනවා කියලා ඩෙස්ක් එකත් බදාගෙන.. බලන කොට ඒ අපේ පංතියේ හැමදාම වගේ අන්තිමයා වෙන දමයන්ති..ඒ අස්සේ මායි එරන්දියි දුවගෙන ආවේ පංතියට නිසංසලාගේ  Diary එක උස්සන්න...දමයන්ති නිදාගෙන වගේ හිටිය නිසා අපි නිසංසලාගේ bag අවුස්සලා Diary එක අතට ගත්තා...


ඉතින් නිසංසලාගේ  diary එකත් අරන් අපි කෙලින්ම ගියේ සිංහල සාහිත්‍ය සමිතියට...දැන් මේක කාටවත් පේන්නැතිව හංගගන්න එකයි ඊලග ප්‍රශ්ණෙ වුනේ අපිට...සමිතිය පටන් ගන්නත් ලගයි . මම කලේ මොකක්ද දන්නවද දාගත්තා එක diary එක වෙස්ට් එක ඇතුලට..දැන් හරි..ඒක වෙස්ට් එක ඇතුලේ දාගෙන මම agenda එකත් කියෙව්වා....පිස්සු තමා....

සමිතිය තිබ්බෙත් කොහොඹ ගහ යට...ඒක ඉවර වුණු ගමන් අපි කලේ school එක පිටිපස්සට ගිහින් අර  diary එක  රස වින්ද එක...ඒකේ විදිහට ඒ වෙනකොට කෙල්ලගේ කම්මුලකට kiss එකකුත් හම්බවෙලා..අපිට දැන් නිසංසලාගේ රහස් ටික කියෝගත්ත එක තරම් සතුටක් තවත් නැහැ...ඒ එක්කම ඒ කාලේ අපි කොල්ලොත් එකක් තරගෙට හරහටම වැඩ කරන එවුන් නිසා අපේ එකියෙක් කොල්ලෙක් එක්ක යාලු වුණු එකත් අපිට නිකම් මදිකමක් වගේ දැනුණේ....අපිට ඒ ‍කාලේ කොල්ලෝ පේන්න බැහැ...රණ්ඩුවටමයි යන්නේ...

දැන් ...ගත්තා වගේ නෙවෙයි ..යන්න කළින් මේක නිසංසලාගේ bag එකට දාන්නත් ඕන. නැත්නම් අද වෙන එව්වා මේකි කොහේ ලියන්නද කියලා ඒ ගමන අපිට පොඩි අනුකම්පාවක් වගේ එහෙකුත් ඇති වුණා...අපි මාන බල බල හිටියේ මේක ආයේ නිසංසලාගේ මල්ලට දාන්නේ කොහොමද කියලා...ඒ නිසා ආපහු diary එක  වෙස්ට් එක අස්සේ දාගෙන අපි පංතියට ආවා....ඈතදිම අපිට තේරුණා පංතියේ ගින්නක් කියලා....මෙන්න නිසංසලාත් ඩෙස්ක් එක බදාගෙන අඩනවා...අපිට ඉතින් වැඩේ තේරෙන්න එච්චර වෙලා ගියේ නැහැ...ඔලුවෙ කැක්කුමයි කියලා නිදාගෙන හිටිය දමයන්ති ගින්න පත්තු කරලා තිබ්බා  යස අගේට....

නිසංසලාත් කඩාගෙන බිදගෙන වගේ අපි ඉස්සරහට ආවා....අපි ටික නිකම් බබාලා වගේ හිටියේ...දෙන්න මගේ diary එක  ඔයාලට මොකටද ඒක....නිසංසලා කියපි...ඉතින් ඒකනේ අපිට මොකටද ඒක...ඔයා ඉස්කෝලෙට diary ත් ගේනවද කියලා අපිත් පෙරලා ඇහුවා...මුකුත්ම දන්නැති ගානට.....දැන්නම් අ‍පේ හිතුත් ගැහෙනවා වගේ අපිට තේරුණේ...ඒ එක්කම හිතුවා මේ diary එක  මේ ලෝකෙන් තුරන් කරනවා විනා ආයේ ජීවිතේට නිසංසලා අතට නම් පත් කරන එක බොරු කියලා...මොකෝ මේක bag එකට දාන්න ගියොත් අපි අහුවෙනවා දැන්...ගින්න නවතින පාටක් නැහැ..මුලු පංතියම දෙකට බෙදිලා...වැඩි හරියක් ‍ඒ වෙන කොට affairs තිබ්බ එවුන් අපිත් එක්ක නයි වෛරයි...මොකෝ උන් යාලු වෙලා හිටිය කොල්ලො ඒ වෙනකොටත් අපේ පස්සෙනුත් එනවා යාලු වෙන්න....

මේ වැඩේ තවත් දුර දිග යන්න කලින් අපි හිතුවා මේ diary එක  වගකිව යුත්තෙකුට භාර දෙන එක ඇගට ගුණයි කියලා...ඒක දෙන්න හොදම කෙනා එවෙලේ හිටියේ අපේ බුද්ධාගම විෂය භාර ගුරුතුමී.....එදා අමරාවතී මිස් ඇවිත් නැහැ. නැත්නම් එයා තමා අපේ පංති භාර.



දැන් ඔන්න diary එකත් උස්සගෙන අපි ගියා බුද්ධාගම මිස් ගාවට...කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වා වාගේ...ඒ වෙනකොට පුස්තකාලේ හිටිය බුද්ධාගම මිස් මාව දැකපු ගමන් ඔලුව උස්සලා ඇහුවානේ මොකෝ උත්පලා කියලා....teachers ලා මට කථා කලේ උත්පලා කියලා…දැන් ඉතින් මම්ම කියපන්කො කථා වස්තුව....

තෙපරබාලා තෙපරබාලා කතන්දරේ කිව්වා කියමු...දැන් මෙන්න බුද්ධාගම මිස් ඇස් කණ්නාඩියට යටින් බලා ඉන්නවා මම දිහා...හරියට diary එක මගේ වගේනේ අනේ....මිස්ලාගේ ගොට්ට වෙලා හිටපු මට සෑහෙන්න හිතට වේදනයි එයාලා මම ගැන මොනා හිතයිද කියලා ඒ පාර.....ඒ අස්සේ කොහොම හරි diary එකත් මිස්ගේ ඇගේම ගැහුවා...ඒකෙන් නිදහස් වුණාම තමා කෙල ටිකක් හරි ගිලුනේ යන්තම්....

හොර බලල්ලු ටික වගේ පංතියට ගිහින් වාඩි වෙලා අපි හිටියේ බොහොම ශාන්ත දාන්ත විදිහට....නිසංසලාව පුස්තකාලෙට කැන්දගෙන යනවත් ඔය අස්සේ අපි දැක්කා...හොද වැඩේ අපිට නොකිව්වට අපි හිතුවා....බුද්ධාගම මිස් diary එක බලන්නෙවත් නැතිව නිසංසලා අතට දුන්නා කිව්වම අපි නිකම් හුලං ගිය බැලුම් වගේ වුණා..මිස් කිව්වලු අනුන්ගේ diaries බලන එක වැරදි නිසා බලන්නැහැ..හැබැයි අයෙ ඕක ඉස්කෝලෙට ගෙනත්අහුවෙන්න එපා කියලා.....

ඒකෙන් මේකෙන් අපේ කණ්ඩායම 3 ට 4 ට කැඩුණා...කට්ටියක් එක හෙලාම කිව්වා අපි වැරදියි කියලා...පංතියෙත් boy friends ලා හිටපු එවුන් තරහයිනේ කොහොමත් අපි එක්ක...අපේ set එකේ සමහර එවුන් අපිත් එක්ක තරහා වුනේ නිසංසලාගේ diary එක උස්සන ත්‍රාසජනක සිද්ධියට අපි උන්ව සහභාගි කරවා නොගත්ත නිසා....

අපේ පංතිභාර අමරාවතී මිස්ට තමා මේ සිද්ධියෙන් ගොඩක්ම දුක හිතුණේ...අපි නිශ්ශබ්ද වෙලා ශාන්ත දාන්ත වෙලා ඒ සිද්ධියෙන් පස්සේ ....මේක මාස ගානක් ඇදිලා ගියා...අපේ යාලුකමුත් ඉවරයි...කථා පෙට්ටිත් වැහිලා....දවසක් අමරාවතී මිස් පංතිය පිටිපස්සට අපේ සෙට් එකට කථා කලා....එදා මිස් හොදටම ඇඩුවා...මල් වගේ හිටිය මගේ දරුවන්ට මොකද වුනේ කියලා..අපි අපිත් බදාගෙන හොදටම ඇඩුවා...ඊට පස්සේ අපි කලින්ටත් වඩා යාලු වුණා...හැබැයි කාගෙවත් අපිට නොකියන රහස් හොයන්න ගියේ නැහැ අපි...පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන කියලා අපි තේරුම් ගත්තා හොදට.......