Wednesday, December 21, 2011

මුල්ලා නස්රුදින්



ඔයාලා අහලා තියෙනවද මුල්ලා නස්රුදින් ගැන....අපේ රටේ අන්දරේගේ කතන්දර වගේ මුල්ලා නස්රුදින්ගේ කතා ඉතාම ප්‍රසිද්ධයි...මුල්ලා නස්රුදින් පොත අම්මා මට අරන් දුන්නේ මම 5 වසර ඉන්නකොට..
නස්රුදින්ගේ කතන්දර ගැන පර්සි ජයමාන්න මහතා සඳහන් කරන්නේ මෙහෙම,
නස්රුදින්ගේ කතන්දර වල හරි පුදුම ගුණයක් තියෙනවා..එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක්ම අහන්න හිතෙනවා...ඒ කතාවක් අහලා එක්කෙනෙක් හිනා වෙනවා...තවත් කෙනෙක් කල්පනා කරන්න පටන් ගන්නවා...සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවට වැටෙනවා...ඒ කතා හැම එකක්ම හාස්‍යත් හරයත් එකට මුවහත් කරලා තියෙන නිසා බුද්ධිය පණ පොවන්න උදව් වෙනවා කියලා ලොව පුරාම පිළිගැනීමක් තියෙනවා...මුල්ලා නස්රුදින්ගේ කතා ද්විත්වාර්ථය දනවන කතා ලෙසයි සැලකෙන්නේ..
නස්රුදින් මුල්ලා කෙනෙකු හැටියට (ගුරුවරයෙක්) හැඳින්වෙන හැම රටක්ම ඔහු තම රටේ කෙනෙකු විදිහටයි සලකන්නේ..සෝවියට් දේශයේ ජනතා වීරයෙකු වශයෙන් සැලකෙන මුල්ලා නස්රුදීන් චීනයේදී , අවන්ති වෙනවා..ග්‍රීසිය, ප්‍රංශය ආදී රටවල නස්රුදින් කතා එරට ජනකතා බවට පත් වී තිබෙනවා..
නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන්න ලෝකයේ රටවල් කීපයක්ම පෙළඹුනත් ., ඔහුගේ සොහොන පවා ප්‍රදර්ශණය කරමින් ඔහු වෙනුවෙන් ලොකු වාර්ෂික අනුස්මරණ උත්සවයක් පවත්වන්න පෙළඹුනේ තුර්කිය විතරයි. ඒ උත්සවය පවත්වන්නේ නස්රුදින් උපන්නා යැයි සැලකෙන එස්කිෂෙර් වලයි.
ඉතින් මුල්ලා නස්රුදින් තමන්ගේ අන්තිම විහිලුව හැටියට කමන්ගේ අන්තිම කැමති පත්‍තරේ තමන්ගේ සොහොන සදවන්න කියලා තියෙන්නේ ..,සොහොන ඉදිරියෙන් අතිව්ශාල දොරක් සවි කරලා ඒ දොරට සොයිබ දාලා ඉබි යතුරු දාලා අගුලක් සවි කරන්න කියලයි.කිසි කෙනෙකුට අරින්න බැරි වෙන්න.හැබැයි ඔහු සඳහන් කරලා ති‍යෙන්නේ ඒ සොහොනට ඒ දොර මිසක් බිත්ති මුකුත් එපා කියලයි...
නස්රුදින්ගේ කතන්දර වලින් දෙකතුනක් මට ලියන්න හිතුණා ඔයාලට...සමහර විට අහලත් ඇති ඒ කතන්දර ඔයාලා...



මෙහෙම වෙන්න බැරිද
මම ආගන්තුක සත්කාර වලට ඉතා කැමති මිනිහෙක්...දවසක් නස්රුදින් තේ කඩේදි යාලුවන්ට කිව්වා..
බොහොම හොඳයි එහෙනම් අද රෑ කෑමට තමුසෙ අපිව ගෙදර එක්කන් යනවා..එතන හිටපු කෑදරම යාලුවා කිව්වා...
කරන්න දෙයක් නැහැ නස්රුදින් යාලුවන්ව ගෙදර එක්කන් යනවා...ගේ ඉස්සරහ යාලුවන්ව තියලා මම ඉස්සෙල්ලා හාමිනේට කියලා එන්නම් කියලා නස්රුදින් ගේ ඇතුලට යනවා...ඒත් හාමිනේ කියනවා ගේ හරියේ මුකුත්ම උයන්න නැහැ කියලා...නස්රුදින් කියනවා එහෙම බැහැ මම එයාලට කිව්වා මම ආගන්තුක සත්කාර වලට කැමති මිනිහෙක් කියලා..ඒ පාර නස්රුදින්ගේ බිරිඳ උපදෙස් දෙනවා..ඔයා උඩ තට්ටුවට ගිහින් හැංගෙන්න මම කියන්නම් ඔයා ගෙදර නැහැ කියලා..

පැයක් විතර බලන් ඉඳලා යාලුවන්ට ඇති වුණා...ඒ පාර දොරකඩට ඇවිත් දොරට තට්ටු කලා...
බිරිඳ ඇවිත් කිව්වා නස්රුදින් ගෙදර නැහැ කියලා...

ඒත් අපි දැක්කනේ එයා මේ දොරෙන් ඇතුල් වෙනවා...අපි දොරකඩට වෙලාමනේ හිටියේ අපි දැක්කේ නැහැනේ එයා එලියට යනවා...
බිරිද නිහඬ වුණා...
ඒත් එතෙක් වෙලා උඩ තට්ටුවේ ජනේලෙන් මේ දිහා බලන් උන්නු නස්රුදින්ට තව දුරටත් කට වහන් ඉන්න බැරිවුණා..ජනේලෙන් පිටතට ඔලුව දැම්ම ඔහු ..
ඉතින් මට  පිටිපස්ස දොරෙන් එළියට යන්න බැරිද කියලා කෑ ගහලා ඇහුවා....

හීන බැලීම
එක රැයක් නස්රුදින් එයාගේ බිරිදව ලොකු කලබලයකින් ඇහැරෙව්වා...
දුවලා ගිහින් මගේ කණ්ණාඩි දෙක ගෙනත් දෙන්න..මම අපූරු හීනයක් දැක දැක ඉන්නේ..ඒකේ අන්තිම කොටස ටිකක් පැහැදිලි මදි වගේ...

සිත්ගත් ලඳ
නස්රුදින්ට කසාදයත් ප්‍රශ්ණයක් වුණා..ගෑණු දෙන්නෙක්ම ඔහුගේ අතගන්න ආවා.. ඒ දෙන්නා දවසක් නස්රුදින්ව කොටු කරගෙන වැඩි‍යෙන් ආදරේ කාටද කියලා ඇහුවා...
එහෙම බැහැ ඕක වෙන විදිහකට අහන්න..මට කරන්න පුල්වන් දෙයක් හැටියට අහන්න.
 "හොඳයි අපි දෙන්නවම ගඟට වැටුනොත් ඔයා බේරාගන්නේ කොයි එක්කෙනාවද ?ඔවුන් අතරින් වඩා ලස්සන කුඩා යුවතිය ඇසුවා...
නස්රුදින් වහා අනිත් අතට හැරී වඩා පෙහොසත් මහත යුවතියගෙන්
ඔයාට පීනන්න පුලුවන් නේද සුන්දරිය කියලා ඇසුවා...

Sunday, November 27, 2011

බුලත්සිංහල සර්....

වාසනාවකට වගේ උසස් පෙළ කරද්දි මට මිශ්‍ර පාසලකට යන්න ලැබුණානේ.අනේ අපරාදේ පොඩි කාලේ ඉඳන්ම එහෙම යන්න ලැබුණනම් හොඳයි කියලා ඔන්න එතකොටයි තේරුණේ...කොහොම වුණත් මම ගිහින් මාස 5 6 කට පස්සේ තමා ඉස්කෝලේ පාටවත් දැක්කේ...මොකද රැග් කරන්න එන කොල්ලන්ට බයේ හැංඟිලා ඉඳලා....හොඳ වෙලාවට අපි හිටියේ ලැබ් එක අස්සෙමයි....බුලත්සිංහල සර්ට බය නිසා කවුරුත් හරියට ආවේ නැහැ හොරගල් අහුල අහුල වටේට කැරකි කැරකි හිටියා මිසක්....

බුලත්සිංහල සර් කියන්නේ අපේ Chemistry Sir ....සර් හෝමගම හිටියේ.. වගේම හුඟක් ප්‍රසිද්ධයි...ඇත්තටම මමයි මංජුයි (ලොකු නැන්දගේ දුව-ටාසන්http://siyaksithuwili.blogspot.com/2011/05/blog-post_23.html ) බයෝ කලේ කැමැත්තකින් නෙවෙයි....නැන්දලා මාමලා බාප්පලා සේරම  සයන්ස් කාරයෝ වෙච්ච නිසා ගෙදරින් ආපු බලපෑම් උඩ අපිට එහෙම කරන්න වුණා...අනික අපි තමා තුන්වෙනි පරම්පරාව මුලින්ම නියෝජනය කලේ අපේ පවුලේ...ඉතින් අපේ කරුමෙට ඒක එහෙම වුණා....වැඩි හරියක්ම එතකොට අපේ චූටි බාප්පා පේරාදෙණි කැම්පස් හිටපු නිසා...අපිට එයාගෙන් අහගන්න පුල්වන්..වගේම එයාට Chemistry කලෙත් බුලත්සිංහල සර් නිසා ඔන්න කට්ටියම කිව්වා බයෝ කරපල්ලා කියලා...ඒත් සර්ට ඒක කොහොම හරි කණට වැටිලා තිබ්බා අපේ ගෙදරින්ම... නිසා මුල්ම කාලේ සර් පංතියට ඇවිත් මොකක් හරි දේකට කේන්ති ගියාම කියන්නේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා කිව්වට බයෝ කරන්න ආපු එවුන් ඉන්නවනම් අන්න දොර කියලා...



බුලත්සිංහල සර් හරිම සැරයි...එයාගේ ස්වරූපය කියනවනම් කැප්ටන් හැඩොල්ක් වගේමයි...කිසිම වෙනසක් නැහැ...සර් සැර නිසා Chemistry period එක වෙලාව එනකොට අපි ඉන්නේ ඇඟේ මවිල් කෙලින් කරගෙන...සිකුරාදා  Chemistry Period 4ක් තිබ්බා උදේ වරුවේ එක දිගටම අපිට.. කාලේ පංතියේ පේළි මාරුවෙන ක්‍රමයක් තිබ්බ නිසා එදා දවසේ ඉස්සරහා පේළියේ ඉන්න එවුන් දෙයියෝ බුදුන් සිහි කරගෙන තමා ඉන්නේ බයටම තක්බීර් වෙලා...මොකද සර් බලාගෙන ඉන්නකොට අපිට ලියවෙන්නෙවත් කථා කෙරෙන්නෙවත් නැහැ...

ඒත් සර් ගෑණු ලමයින්ට අතින් නම් ගහන්නේ නැහැ...මොකද සර් කොච්චර සැර වුණත් ගෑණු ළමයි අඬනව දකින්න සර් කැමති වුනේ නැහැ..අඩිරූල අරගෙන අනිත් පැත්තට හරවලා ඒ කියන්නේ දාරේ පැත්ත...ඇගිලිඇට ටිකට තමා සර් දෙන්නේ පාර...තරු විසි වෙන්න..පිරිමි ලමයින් නම් සර්ට වඩා උස මහත වුණත් සර් හොඳටම පත බානවා...අපේ පංතියේ එක පිරිමි ලමයෙක්ගේ පොත සර් හැමදාම වගේ එලියට විසික් කරනවා ගෙදර වැඩ කරන්නැතිව...ඒත් සර් කොච්චර සැර වුණත් කොච්චර ගැහුවත් හැමෝම සර්ට කැමතියි..ගරු කලා...
ගෑණු ළමයින්ට නම් සර් දුන්න ලොකුම දඬුවම තමා පරිච්ඡේද 2 ක් විතර හිටගෙන ඉන්න දුන්න එක...ඒත් වෙලාවකට හිටගෙන හිටියත් සර් කියන ඒවට අපිට හිනා යනවා...මුල් දවස් වල මමයි මංජුයි එක ලඟ වාඩි වුනේ...ඒත් අපි දෙන්නා නැගිට්ටවපු වෙලාවට එක ලඟට වෙලා සර් කියන ඒවට හිටගෙන හිනා වෙන නිසා මොකද තොපි දෙන්නා විරිත්තන්නේ කියලා...ඔන්න අපි දෙන්නාව දෙපොලකට දැම්මා පංතියේ...අපි දෙන්න ගෙදර ගිහින් දවසක් ඕවා කථාවෙනකොට අපේ ලොකු මාමාට සර් ගැන කේන්ති ගිහින් එන්න හැදුවා ඉස්කෝලෙට..ඒත් අපි තේරුම් කරලා දුන්නා එහෙම කලාට ලමයි සර්ට කොච්චර කැමතිද කියලා...
අපේ පන්තියේ ලමයින්ට සින්දු පිස්සුව ...නිසදැස් පිස්සුව තිබ්බා ඒ කාලේ හොඳටම උග්‍ර වෙලා...අපේ පන්තියේ කෙළවරවල් දෙකේම බිත්ත් වලම කළු ලෑලි 2ක් තිබ්බ නිසා ගුරුවරු පරිහරණය කලේ ඉස්සරහා තිබ්බ එක විතරයි..ඔන්න අපේ එවුන් පටන් ගත්තා උදේ පාන්දර කුකුලත් අතේ තියන් ඇවිත් පිටිපස්සේ බිත්ති කළු ලෑල්ලේ කුරුටු ගී ලියන්න..මේක ගැහැණු පිරිමි භේදයක් නැතිවයි සිද්ධ වුණේ...මේ කළු ලෑල්ල සිවිලිම ලඟට යනකම් වගේ තිබ්බ නිසා කට්ටිය වවුලො වගේ එල්ලිලා මේකේ ප්‍රේම ගී විරහ ගී කුරුටු ගාන්න ගත්තා.
ඔන්න දවසක් සර් උදෙන්ම ආවා පංති කාමරයට...දොර ගාව ඉඳන්  බලාගෙන හිටියා අත් දෙකත් පිටිපස්සේ තියගෙනම...,මොක්කුද බොලව් මේ ප්‍රේමයෙන් ඔද්දල් වෙලා ඉන්නේ...මකපියව් බ්ලැක් බොර්ඩ් එක කියලා සර් ගිගිරුවා...අනේ අපේ එවුන් ඉතින් උදේ ඉදන් කුරුටු ගාපුවා පණ කඩන් මකලා ඉවර වුණාට පස්සේ තමා සර් ආවේ පන්තිය ඇතුලට...
සර් ට ඕන වුනේ නැහැ අපි ගිරව් වගේ පොත කටපාඩම් කරනවාට...ඒ නිසා තමා සර් එච්චර සැර වුනේ...දෙයක් ප්‍රායෝගිකවම හරියට දැනගෙන ඉගෙනගන්නවනම් තමා සර් කැමති වුනේ..ඒ නිසා සර් ප්‍රශ්ණයක් ඇහුවත් ලමයි බයයි උත්තරය දැනගෙනත් උත්තර දෙන්න..සර් අලගිය මුලගිය තැන් අහන නිසා...
අපේ කට්ටිය පුරුදු වෙලා හිටියා පුංච් tape recordes තියාගෙන ඉන්න සර්ගේ period  එක වෙලාවෙදි  desk එක අස්සේ...ඒත් දවසක් මේකක් සර්ගේ අතටම අහුවුණා..ඒක පිරිමි ලමයෙක්ගේ ටේප් රෙකෝර්ඩර් එකක්..කරුමෙට මූ ඒකේ දෙබස් වගයක් රෙකෝර්ඩ් කරලා girl friend ගෙයි   bus එකේ යද්දි ඒකේ හිටපු couple එකක් කියපුවයි..සර්ට කේන්ති ගිහින් මුලු පන්තියෙම tape recordes එකතු කර ගත්තා...AL exam ඉවර වෙලාම දෙමව්පියො එක්ක ඇවිත් අරන් යන්න කියලා...
සර් නැති වෙලා දැනට අවුරුදු 5 ක් 6ක් වෙනවා ඇති මගේ හිතේ..අපි එතකොට school out වෙලා විසිරිලා ගිහින් හිටපු නිසා සර්ගේ මරණය ආරංචි වුනේ නැහැ...ඒත් දැනගත්තම ඒ ගැන ගොඩක් දුක් වුණා...මේක ලියද්දි සර් වගේම උසස්පෙළ පන්තියේ අපිත් එක්ක හිටපු එරංගවත් මතක් වෙනවා..එරංග නැතිවුනේ උසස්පෙළ exam ඉවර වෙලා physics class එකෙන් උඩවලවේ trip එකක් ගිය වෙලාවක ඔරුව පෙරළිලා..එයත් එක්කම 12ක් අවසන් ගමන් ගියා මතක විදිහට ඒ අනතුරින්...එරංග ගේ දෙණ ඔසවන් යනකොට අපේ පංතියේ අයගේ අත් වලින්ම අපි ඇඬුවා හොඳටම...එරංගගේ අත් අකුරු හරීම ලස්සනයි...මගේ autograph එකේ ඒ ලස්සන අත් අකුරු වලින් එරංග ලියලා තිබ්බේ සුළඟේ ලෙලෙනා... මල් සේ දඟපා ...කියන ශාලිත ගේ සින්දුව ..
ආදරණීය වූ ඒ සැමට මේ ලිපිය උපහාරයක්ම වේවා...!

Tuesday, November 22, 2011

නොහඬමි.....



මම නොහඬමි....
මන්ද
මා හැර ගියේ..
මට හිමි අයෙකු නොවන හෙයිනි...
මම නොහඬමි....
මන්ද
මට හිමි වූ අයද 
මා හැර ගිය බැවිනි...
මම නොහඬමි...
මන්ද
හිමි අහිමි බව නොතකා
හදවත පිදූ බැවිනි....
නමුදු
හිමි නොවූ සියල්ලටමද
හැර දමා යන්නවුන්ටද
මම
ආදරය කරමි...
නැවතත්
නැවත නැවතත්...
ආදරය කරමි...
මක් නිසාද යත්...
මා පැමිණ ඇත්තේ....
ආදරය විඳීමට නොව
ආදරය දීමට පමණක්ම වග
පසක් කර ඇති බැවිනි.....

Sunday, November 20, 2011

එපා ...ඔබ





දේදුන්නක් වී  පායන්න එපා...ඔබ
සත්පාට මැකී යා නම් ‍නෙත අභියසම...

සමනළයෙක් වී එන්න එපා ...ඔබ
පියඹා යයි නම් මවෙතින් රොන් ගත් විගසම....

සඳපානක් සේ දිලෙනු එපා...ඔබ
රැය ගෙවී ගියකල ඒවි නම් දිනකර...

වස්සානය වී එන්න එපා ..ඔබ
ගිම්හානයේ හද දවාලයි නම් තනිකම...

මල් සුවඳක් සේ ඈතින් ඉනු මැන...
පරවි ගියද
සුවඳ නොමැකෙන....
ගිලිහී ගියද
සුවඳ නොසිඳෙන....

පෙරදා..



පෙරදා..
නුඹේ උණුසුමට තුරුලු වී
සිටින විට..
සිඹිමින් මගේ වත
පැවසුවා නුඹ
මෘදුයි සුවයි යැයි
මගේ උණුසුම.....
මගේ නලලත හා කොපුල් තල වෙත
හාදු වැසි වස්සවමින්...
නුඹේ දෙනෙත් මා දෙනෙත් තුල
සොයමින්  ආදරය...
හෙමි හෙමින් පහත් වී...
දෙතොල් මත තබන විට..
නුඹෙ දෙතොල්...
අනේ ඒ නිමේෂය ...
කාලය නතර වේ නම් එතැනම..
කෙතරම්ම සොදුරුද
මට සිතුණා...!!!

Friday, November 18, 2011

ඒ සහි තුයිහ පිතා.........(අපේ කාලයේ යශෝදරාවකගේ නරසීහ ගාථා)

උදේ රැයින් පිටවී ඔහු යන්නේ..
මා බැඳ දුන් බත් මුල ගෙනියන්නේ..
හවසට වැනෙමින් ගෙදරට එන්නේ..
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

ඇස් දෙක මදටිය මෙන් දිලිසෙන්නේ...
මත් වි කරටිය කඩා වැටෙන්නේ..
හිමිහිට වැනි වැනි මඟ දිග එන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

කමිසය පොඩි වී වැරහැලි වැන්නේ...
මොන මොනවද හෙමිහිට මුමුණන්නේ..
ඉඳහිට විසි වී වැටෙන්න යන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

අපහට සැප දෙන්නයි පවසන්නේ...
සවසට ඔහු අතිකාල කරන්නේ..
මිතුරන් සමඟින් රංචු ගැසෙන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

මිතුරන් දෙපසින් අල්ලන් එන්නේ...
මිතුරන්මයි ඔහු හට වින දෙන්නේ...
මිතුරන් නැතිදා අපිමයි ඉන්නේ...
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

මොනවද අද මට කන්න තියෙන්නේ...
අසමින් ඔහු මට ගුටි බැට දෙන්නේ...
නුඹ දුටුවොත් නුඹටත් වද වෙන්නේ.....
බලන්න පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

නොසරුප් වදනින් ඔහු බැන එන්නේ..
දායාදය ඔහුගෙන් නොපතන්නේ...
දුව ගොස් දොරමුල්ලේ හැංඟීයන්නේ...
පුතණුවනි ඒ ඔබේ පියාණන්ය....

හරීම ලස්සන සින්දුවක්....අහලා බලන්න


http://sinhala-lyrics.com/get_lyric.php?lid=2110

Wednesday, November 16, 2011

රන්වන් එරන්වන් යෞවනියේ....


අපේ අමාත්‍යාංශයේ ඉන්නවා ලස්සන නංගියෙක්...හුඟාක් අය ඉන්නවා ඉතින්....ඒත් මෙයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්...නිරූපිකාවක් වගේ උසයි...කොණ්ඩය කෙටි වුණත් කර්ල්...ලස්සනයි ඇත්තටම...ඉතින් මේ නංගි ලස්සන නිසාම හොඳට කැපිලා පේනවා...
දැන් දවස් ගාණකට කලින් මම දැක්කා අපේ  branch එකට එහා පැත්තේ   branch   එකේ..Boy කෙනෙක් ගේ උරහිසේ ඔලුව තියාගෙන මේ නංගි staff bus  එකේ යනවා..මම ඒත් හිතුවා මේ කොල්ලත් හිමිජ්ජා වගේ ඉඳගෙන ලස්සනම කෙල්ලෙක්නෙ හොයාගෙන තියෙන්නේ කියලා...ඒත් ඒ හැඟීම වැරදියි කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් මට ගියේ නැත්තේ එතනට ආපු කොන්දොස්තර ලමයාගේ අතින් ඇද ඇද මේ නංගි කථා කරනවා දැකලයි....මේ ඔයාට තේරුණා නේද මම කලේ විහිලුවක් කියලා..කිය කිය මේ කෙල්ල ඒ කොන්දොස්තර කොලුවගේ අතින් අදිනවා මම බලාගෙන...අනේ ඉතින් අර කොල්ලත් ඩිම් වෙලා බලන් ඉන්නවා මේ කෙල්ල දිහා..
ඔන්න ඔය විදිහට දවස් ගානක්ම මම දැක්කා  නොයෙක් කොලු ගැටව් එක්ක උරහිසේ ඔලුව තියාගෙන... අතේ වෙලිගෙන ...උරහිසට තට්ටු දදා ..ඔඩොක්කුවේ වාඩි වෙලා...නොයෙකුත් විදිහට මේ කෙලි පොඩ්ඩ  staff bus  එකේ යනවා....මට හිතෙන විදිහට එයා ඒ දේවල් කරන්නේ යාලු කමටයි දඟ කාරකමට වෙන්න ඇති..ඒත් ඒ ගෑණු ළමයාත් එක්ක යන පිරිමි ළමයිගේ ඇස් මම දකිනවා ...එයා කරන  හැම දේකින්ම ඒ පිරිමි ලමයිගේ ඇස් වල ආශාවේ බලාපොරොත්තු දැල්වෙන හැටි..ඒක ඒ ගෑනු ළමයාට තේරුමක් නැහැ...
අනේ නංගියේ...මම මේ උඹේ හොඳටයි කියන්නේ...ඔය වැඩේ නම් එච්චර සුභ වැඩක් නෙවෙයි කෙල්ලේ...ඔන්න !!!!

Monday, November 14, 2011

දමා යන්නට පළමුව ඔබට....


මතක් කරන්න...
කිව්වා නේද මට ආදරෙයි කියලා....
ඔයා මගේ පණ කියලා....
හ්ම්ම්...තව
මා වෙනුවෙන් කරන්න බැරි
කිසිම දෙයක් නැහැ කියලා....
මතක් කරන්න...
ඔයා ආසම මගේ ඇස් වලට
කිව්වා නේද?
ඊට පස්සේ...මගේ කම්මුල් වලට..
මගේ කොණ්ඩෙට..
මගේ ඇඟිලි වලට...ඔයා
ආසයි කිව්වා...
මතක් කරන්න...
මගේ සිතිවිලි වලට..
මම හිතන විදිහට ..
හ්ම්ම් ඔව් ඒ සිතිවිලි වලට පවා..
ආදරෙයි කිව්වනේ ඔයා...
ඒත් මම් දන්නවා
දාලා යන්න හදන ඔයාව
නවත්ත ගන්න තරම්
දෙයක් මම ළඟ නැහැ කියලා..
ඒ නිසා මම නවත්තන්න හදන්නැහැ..
ඔයාට යන්නම ඕන නම් ඉතින්...
යන්න....
ඒත් අමතක කරන්න එපා..
ඔයා අර ආදරේ කළ දේවල්..
තාමත් මම ගාව තියෙනවා..