Monday, May 23, 2011

ටාසන්



මේ කාලේ අපිට අවුරුදු 5 ත් 6 ත් අතර වෙන්න ඕන මට මතක විදිහට....
අපේ හිත් වල මාධ්‍ය වීරයන් වෙලා හිටියේ දොස්තර හොද හිත..රොබින් හුඩ්...ටාසන් ...වගේ චරිත....

අපේ මහගෙදර වත්තේ (වහපු ගේට්ටුව) මහපාරට ලග කෙලවරක තිබ්බා අපේ සීයාගේ ගල් මෝල..
මේක බලා කියා ගත්තේ ‍ ප්‍රේමසිරි මාමා.ඉතින්  අපි (අපි කියන්නේ මායි . මංජුයි (වහපු ගේට්ටුව)) ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස් වෙනකොට වත්ත පුරා තියෙන පේර ගස්, දම් ගස් ,බෝවිටියා ගස් ,එරමිණියා ගස් එහෙම හූරගෙන කාලා මේ ගල් මෝල පැත්තට යනවා....
ඔන්න එදා තිබ්බා ගල් මෝල පැත්තකින් අර කොන්ක්‍රීට් දාන්න ගන්නේ තුන්කාලේ ගල්..අන්න ඒ ගල් ටිකක් ලොකු කන්දක් විතර සයිස් එකට ගොඩ ගහලා...ඒත් එක්කම එතන තිබ්බා උස තැඹිලි ගහක්..මේ ගහේ තැඹිලි අත්තක් බාගෙට කඩන් වැටිලා පැද්දි පැද්දි තිබ්බා යස අගේට...මේක දැකලා අපේ ප්‍රීතිය නිමක් නැහැ...පස්වනක් ප්‍රීතියෙන් ඉපිලි ඉපිලි මංජුයි මායි දඩිබිඩි ගාලා නැග්ගා ගල් ගොඩ උඩට....
ඔන්න දැන් අපි දෙන්නා මේ බාගෙට එල්ලෙන තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් (ඔයාලට මතක ඇති නේ ඒ කාලේ ටයිසන් තොටවත්තයන් හඩ කවපු ටාසන් ...මතක විදිහට ITN එකේ තමා පෙන්නුවේ)කරන්නයි ලැහැස්තිය.....තැඹිලි අත්තේ එල්ලිලා ටාසන් කෑගහන විදිහට කෑ ගහගෙන මංජු යනවා  ගල් ගොඩ උඩ ඉදලා පහලට ...ගිහින් තැඹිලි අත්ත අතාරිනවා..ඒක සුරුස් ගලා ආයේ ගල් ගොඩ උඩට ඇවිත් තමා නතර වෙන්නේ..ඊට පස්සේ මම ඒකේ එල්ලිලා කෑ ගහගෙන පහලට එනවා..ඔන්න ඔහොම අපි මාරුවෙන් මාරුවටයි ටාසන් කලේ...දැන් දෙතුන් පාරක් එහෙට මෙහෙට ගිහිල්ලා මංජු පහලට ගිහින් තැඹිලි අත්ත අතෑරියා විතරයි මාත් පැන්නා ටාසන් විදිහට කෑ ගහගෙන..
ඒත් !!! ඒ පාර තැඹිලි අත්ත අහු වුනේ නැහැ මගේ අතට...ගල් ගොඩ දිගේ උඩු බැලි අතට වැටිලා මාව පහලටම රූටගෙන යනවා මතකයි මට හීනෙන් වගේ...කොට ගවුම් කෑල්ලක් ඇදන් හිටියේ මම..මට සිහි නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගල් ගොඩ හිටපු මංජු දුවගෙන ඇවිත් ලේ පෙරාගෙන වැටිලා ඉන්න මගෙන් ..චමිලක්කේ චමිලක්කේ ඔයාට රිදුනද කියලා අහනවා මට හීනෙන් වගේ මතකයි...(පස්සේ කාලෙක අපිට වැඩියම හිනා ගියේ මංජු ගේ ඒ ඇහිල්ලට...) 
ඒ අස්සේ එයා කෑ ගහන කොට ප්‍රේමසිරි මාමා දුවගෙන ඇවිත් මට වතුර ටිකක් ඉහලා ...ඔන්න එතකොට යන්තම් මට සිහිය ආවා..මාව හරහට වඩා ගෙන ගෙදර අරන් එනකොට කට්ටියම (ඒ කාලේ අපේ නැන්දලාගෙන් වැඩි හරියක් තනිකඩ) කෑ ගහගෙන ආවා ඉස්සරහට...අපේ ටාසන් කෙරුවාව අහන් ඉදලා...කට්ටියම එහෙට මෙහෙට වුණාම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඔලුව මැද්දට හිල් වෙන්න ටොක්කක් ඇනලයි අපේ අම්මා මට බෙහෙත් දැම්මේ ඔන්න!!!!




පසු සටහන් - මේ ඉන්නේ මායි මංජුයි..ඔය තොප්පිය දාගෙන ඉන්නේ මම්..අපි දෙන්නාව වඩාගෙන ඉන්නේ මගේ ආච්චිලා දෙන්නා...මාව වඩාගෙන ඉන්නේ අපේ අම්මාගේ අම්මා..මංජුව වඩන් ඉන්නේ අපේ තාත්තාගේ අම්මා...අපේ අම්මලාට තාත්තලටත් වඩා අපේ සීයලාගේ ආච්චිලාගේ ආදරේටයි අපි තුරුල් වුනේ....මම හිතන්නේ එහෙම සීයලා ආච්චිලා අපිට ලැබුනේ පිනකට කියලා...

ඔය කියන අවදියේ photo එකකුත් ඇති අපි දෙන්නගේ ...ගල් මෝල ගාවදිම ගත්ත...මම ඒක හොයාගෙන දාන්නම්...මංජු ඒක ඔයා ගාවද?
 මෙන්න ඒක..ගල් මෝල නම් නැහැ ..හැබැයි මෝලේ ලොරිය තමා පේන්නේ ඔය පිටිපස්සෙන්.....

Sunday, May 15, 2011

පැහිච්ච කථා



ඔන්න දවසක් අපේ දෝණියි මමයි ගමනක් යනකොට...
කුඹුරක් ගාව ඉන්නවා හරක් දෙන්නෙක්...එතකොට මෙන්න දෝණි එක පාරටම මගෙන් අහනවා..."අම්මා හරකාගේ girl friend ද එළදෙන කියන්නේ" කියලා...
මාත් ඉතින් "හ්ම් හ්ම් " කිව්වා...
*****************************************************




මේ ලගදි දවසක මගේ යාලුවෙක්ගේ wedding එක තිබ්බා... wedding invitation card එක අතට ගත්ත ගමන් මම දෝණියැන්දත් ලග හිටපු නිසා ප්‍රසිද්ධ නිවේදනයක් කලා ඔන්න මම ***** ගේ wedding එකට යනෝ කියලා...මගේ යාලුවා විශ්ව විද්‍යාලෙත් ගිහින් කා එක්කවත් යාලු වුනෙත් නැති නිසා ටිකක් කල් ගියා එයාට මනමාලයෙක් හොයා ගන්න.
 wedding card එක බලන ගමන් දෝණි අහනවා ඒ පාර මගෙන් "අම්මා ***** ආන්ටි boy කෙනෙක් හොයාගෙනද අම්මා" කියලා. මම ඒත් කල්පනා කලේ මේ ලමයි අපේ දුරකථන සංවාද කොච්චර වුවමනාවෙන් අහන් ඉන්නවා ඇතිද කියලයි.
********************************************************


අපේ දෝණි ඇඟසේදුවට පස්සේ කණ්ණාඩිය ගාව ගැවසි ගැවසි විමසිල්ලෙන් එයාගේ ඇඟ පත දිහා බලනවා මම දවස් ගානක් දැක්කා....එහෙම ඉදලා බැරිම තැන .....
මම          -    මොනවද පු‍තේ ඔය සැරින් සැරේ කණ්ණාඩියෙන් බලන්නේ?
දෝණි      -    අම්මා මම මේ මගේ බඩ දිහා බලන්නේ...
මම           -    ඒ මොකෝ ඒ ඇයි බඩට මක් වෙලාද?
දෝණි       -    මම බැලුවේ මගේ බඩ ලොකු වෙලාද කියලා..
මම           -    ඒ ඇයි බඩ ලොකු වෙන්නේ ඔයාගේ?
දෝණි     -   නෑ ඉතින් මම බලාගෙන හිටියේ අම්මාගේ බඩ ලොකු වෙලා මට මල්ලියෙක් හම්බ වෙනකම්..දැන් ඒක වෙන පාටක් නැති නිසා මම මේ බැලුවේ මගේ බඩ ලොකු වෙලා මටවත් මල්ලියෙක් හම්බ වෙයිද කියලා.

Monday, May 9, 2011

වහපු ගේට්ටුව....

රාජකාරි ජීවිතේ වෙන එව්වා ලියන්න ගත්තට මොකෝ..දැන් තමා ඒකේ අපහසුව තේරේන්නේ ඔන්න..අරයට මෙයාට අපහාස කළා කියලා නඩු file වෙන්න ඉඩකඩ බොහොම වැඩියි ..ආණ්ඩුවේ සේවකයෙක් වුණාම.ඒ නිසා මතක කථා මයි ලියන්න වෙන්නේ ඔන්න....


මේක 1980 දශකයේ අගභාගයේ එකක්...ඒ දවස් වල අපි හිටියේ මහ ගෙදර. මායි මංජුයි (අපේ ලොකු නැන්දාගේ දුව) එක වයසේ නිසා එකටමයි හැදුනේ වැඩුනේ....ගොඩක් වෙලාවට එකම වගේ තමා අපි ඇදුම් ඇන්දෙත්....ඉතින් අපේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා අපිව දැම්මා ගමේ පන්සලේ දහම් පාසලට...සීයා තමා ඒ පන්සලේ ප්‍රධාන දායකයා.ගොඩක් වෙලාවට එයා අපිව දහම්පාසල් එක්ක යනවා එයාගේ කලු පාට මොරිස් මයිනර් එකෙන්...ඉස්සර අපි ඒකට කිව්වේ ඉබි කට්ට කියලා..ඒ වුණාට ඒක හිමින් නම් යන්නේ නැහැ ඔන්න...අපි එක වසරේ ඉදලම දහම් පාසල් ගියා.

මෙන්න මේ කියන ඉරිදා දවසේ අපි දෙන්නට සිද්ධ වුණා පයින්ම ගාටන්න දහම් පාසලට..ඒක තියෙන්නේ පයින් යන දුර. අපේ සීයාගේ වත්ත අක්කර 25 ක්.ඒක ඉස්සර ආණ්ඩුකාරවරයෙකුටලු අයිති වෙලා තිබ්බේ..මේ වත්ත හරිම ලස්සනයි...දැන් චූටි බාප්පා ඒක තවත් ලස්සන කරලා තියෙන්නේ..ඉතින් මහ පාරේ ඉදලම මහ ගෙදරට යන කම් කිලෝමීටරයක් විතර දිගට අන්දර වැටියක් තියෙනවා හරිම ලස්සන. පොඩි වංගුවක් වගේ තියෙනවා මහ ගෙදරට හැරෙන්න..එතන ලොකු එල රඹුටන් ගහකුත් තියෙනවා...කථාවට යමුකෝ.
ඉතින් ලමා සාරි එහෙමත් ඇදගෙන මේ රඹුටන් ගහ යටට ට එනකොට එදා අපි දෙන්න ට හරිම කම්මැලි කමක් ආවා දහම් පාසල් යන්න...මතක විදිහට අපිට මල් වට්ටි වලට මල් කඩා ගන්නත් කම්මැලි හිතුණ නිසා මල් නැතිව දහම් පාසල් යන්නත් බයක් වගේ තිබ්බා...මහ ගෙදරත් පේන දුරින් තියාගෙන අපි දෙන්නා ගැටයක් ගැහුවේ එදා දහම් පාසල් යන එක cut කරන්න...දැන් නියපොතු හප හපා අපි කල්පනා කරනවා මේක කරන්නේ කොහොමද කියලා...ඔන්න ඉතින් ඔතනට වෙලා විනාඩි 10 ක් විතර නියපොතු ටික කාලා ඉවර කලාම අපිට ආවා idea එකක්. 

ඊට පස්සේ අපි දෙන්නා ආපහු හිමින් සැරේ ගෑටුවා මහ ගෙදර පැත්තට. යන කොට ගේ ඉස්සරහා ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ සියා හිටියා ඇල වෙලා පත්තරයක් බල බලා. අපි දෙන්නා දැකලා සීය ඇහුවා මොකද මේ ගිය පයින්ම කියලා...බොරුවක් ගොතාගෙන ආවට දැන් ඒක කියවෙන්නෙත් නැහැ.ඒත් බැරි මරගාතෙම අපි කිව්වා , අනේ සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා.මොකක් ? සීයා ඇහුවා. ඔව් සීයේ දහම් පාසලේ ගේට්ටුව වහලා..අපි බලා ඉදලා ඉදලා  ඇරියේ නැති නිසා ආපහු ආවා කියලා අපි දෙන්නා වෙව්ල වෙව්ල කියා ගත්තා. සීයා මහ හයියෙන් ආච්චිට කෑ ගැහුවා..නෝනා ඔය කාර් එකේ යතුර ගෙනාවනම්..මෙන්න මුන් දෙන්නා කියනවා දහම් පාසලේ ගේට්ටුව වහලා කියලා...මට ඕන බලන්න මොන පන්සලේ ද ගේට්ටුව වහලා දාන්නේ කියලා..
අපි දෙන්නා මූණෙන් මුණ බලා ගත්තා..දැන් අපිට භාගෙට ඇඩිලා..අද නම් ඉවරෙටම ඉවරයි තමා...
වරෙල්ලා යන්න මාත් එක්ක කියලා සීයා නැග්ගා කාර් එකට...අපි දෙන්නත් ගිටාර් ගහනවා වගේ වෙව්ලන කකුලුත් අද්ද අද්ද ඒකට ගොඩ වුණා කියමුකෝ. දහම් පාසල පේන්න ඔන්න මෙන්න තියනකොට අපි දෙන්නා කලේ හූ කිය කියා අඩන එක...දහම් පාසල් යන්න බැහැ කියලා...මෙන්න දහම් පාසලේ ගේට්ටුවත් තියෙනවා පලු දෙකම හායි කියලා ඇරලා දාලා.කෝ බොලවු වහලා කියපු ගේට්ටුව සීයා ඇහුවා...

නායක හාමුදුරුවොත් හිටියා ආවාස ගෙයි ඉස්සරහම අපේ වෙලාවට උන් වහන්සේ එදා කොහෙවත් වැඩලා නැහැ. සීයා කිව්වා සමාව ඉල්ලලා වැදපියව් කියලා හාමුදුරුවන්ට.අපි දෙන්නා අඩා වැටි වැටි සමාව ඉල්ලලා පන්තියට ගියා හොටු පෙර පෙර...

හැබැයි එදායින් පස්සේ අපි කවදාවත් බොරුවක් නම් කියන්න තියා හිතුවෙවත් නැහැ. පස්සේ A/L එහෙම කරලා ඉවර වෙලා උසස් අධ්‍යාපනය හදාරණ කාලෙදි ..අපි කඩවල් ගානේ shopping කරලා පරක්කු වෙලා ගෙදර එන කොට රඹුටන් ගහ හරියෙදි මංජු මට කියනවා..අනේ චමිලක්කේ (නෑදෑයො මට කිව්වේ චමිලා කියලා. මගේ නම පතරංග ජාතකයක් වගේ දිගයි.මොකෝ පවුල් දෙකෙන්ම මුලින්ම හම්බ වුණු දරුවා මම නිසා කට්ටිය පැන පැන නම් දාලා තියෙන්නේ.වැඩිමල් වෙන එක තරම් කරුමයක් නම් තවත් නැහැ)ඔයා නම් කට අරින්න එපා මංම කියන්නම් කියලා මොකක් හරි...මොකෝ මගේ බොරු කියපු ගමන් අහු වෙන නිසා...
මේ තියෙන්නේ අපේ මහගෙදර...නවීකරණය කරලා තියෙන්නේ මේ සිමෙන්ති ගල් කෑලි වලින් විතරයි...අනෙක් සේරම පෙර පරිදිමයි...දැන් ඉන්නේ සිය පවුලත් එක්ක චූටි බාප්පා..අපේ තාත්තලාගේ පවුලේ සේරම සහෝදර සහෝදරියන් 9 යි...

Wednesday, May 4, 2011

හාමුදුරුවෝ නෙවෙයි.... - 2 කොටස

ඉතින්  Aquinas final exam කරලා ඉවර වුණාට පස්සේ අපේ යාලුවන්ගෙන් හුගක් අය ඈත් වුණා...පියරතන හාමුදුරුවෝ එක දවසක් ගෙදරට call  කරලා තිබ්බා මට. මම ගෙදර හිටියේ නැහැ එදා...ඒත් පියරතන හාමුදුරුවෝ new year cards, birthday cards..වෙසක් cards අවුරුදු 2 ක් විතර යනකම් අපේ ගෙදරට post කරලා..ඒවා මට ලැබුණා.ඒත් මට එව්වට ස්තූතිය ප්‍රකාශ කරන්නවත් මම ගාව හාමුදුරුවන්ගේ phone no එකක්වත් තිබ්බේ නැහැ.

මෙහෙම අවුරුදු 2 ක් 3ක් ගියා...දවසක් මම අම්මත් එක්ක පුංචි බොරැල්ලේ ගියා. සිරි ධම්ම මාවතට හැරිලා ටික දුරක් යනකොට අපේ පිටිපස්සෙන් උත්පලවණ්නා .උත්පලවණ්නා කිය කිය කවුරු හරි දුවගෙන එන අඩි සද්දයක් ඇහුණා... මම පිටිපස්ස හැරුණේ මේ බොරැල්ලේ මට උත්පලවණ්නා කියලා ආමන්ත්‍රණය කරන්න ඉන්නේ කවුද කියලා හිතන ගමන්මයි..මෙන්න කවුද එච්චරම උස මහත නැති  පිරිමි ලමයෙක් දුවගෙන එනවා කොට කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇදගෙන හති දාගෙන මගෙ නම කිය කිය!මායි අම්මයිත් නැවතිලා බලාගෙන හිටියා.අපේ අම්මත් මම දිහා රවන්න ගත්තා මේ මොකාද කියලා අහන්න වගේ ඒ පාර!
 දැන් ඔන්න මම ඉස්සරහා ඉදන් හති දදා හිනාවෙනවා...හිනාව .මූණ කට හොදට දැකලා පුරුදුයි.
උත්පලවණ්නාට මාව අදුනන්න බැරිද ? එයා ඇහුවා...ම්හ් මතක් කලා කලා මතක් වුනේම නැහැ.ඒත් කටහඩත් පුරුදුයි වගේ...
මම නෑ කිව්වා...ඒ පාර එයා ඉදන් කියනවා...මම තමයි පියරතන...Aquinas එකේ ඔයාලගේ class එකේ හිටියේ..උපාධිය ගත්තාට පස්සේ මට ****** ඉස්කෝලේ  teaching හම්බවුණා. දැන් මම මෙහෙ බෝඩිමක නැවතිලා ඉන්නේ...කඩේට යන්න ආවේ දවල්ට කෑම එකක් ගන්න එතකොට තමා අහම්බෙන් වගේ දැක්කේ ඔයාව කියලා...
දැන් මේ layer cut කපලා තිබ්බට..ඒ දවස් වල මට දිග කොණ්ඩයක් තිබ්බා..මගේ කොණ්ඩෙනුයි ගමනෙනුයි ලු මාව අදුණගත්තේ.දැන් නමප්‍රියන්ත ලු.
ඉතින් මේ මනුස්සයා මෙච්චර හරියක් කියද්දි මට පුලුවන් වුනේ..ආනේ එහෙමද හාමුදුරුවනේ...ඇත්තද හාමුදුරුවනේ..හොදයිනේ හාමුදුරුවනේ කිය කිය හූ මිටි තියන්න විතරයි...මෙයා ඒ හැම පාරම කියනවා දැන් නම ප්‍රියන්ත කිය කිය.ඒත් මට "හාමුදුරුවෝ" ඇරෙන්න වෙන මුකුත් කියවෙන්නේ නැහැ.
ඔන්න දැන් ..දවස් දෙක තුනකින් අපේ ගෙදරට call කලා මේ ප්‍රියන්ත.එතකන්ම මගේ phone no.එක  තියෙනවලු එයා ගාව.
ඉතින් මෙන්න අපේ දුරකථන සංවාදය..


ප්‍රියන්ත - හලෝ උත්පලා...මම ප්‍රියන්ත
මම - හානේ හාමුදුරුවනේ...ඉතින් ඉතින්
ප්‍රියන්ත - අපේ පන්තියේ කවුරුත් ඔයාට කථා කලේ නැද්ද..
මම - මේ ලගක් වෙනකම්ම කථා කලා..යාලුවෝ දෙතුන් දෙනෙක්..ලගදි නම් කථා කලේ නැහැ හාමුදුරුවනේ...
ප්‍රියන්ත - අයියෝ මම ප්‍රියන්ත අනේ..
මම - ආහ්...sorry sorry
ප්‍රියන්ත - ඉතින් දැන් මොනාද කරන්නේ...ගෙදරට වෙලා..
මම- මාත් ***** Ministry එකේ ...Saturday Sunday විතරයි ගෙදර ඉන්න වෙන්නේ හාමුදුරුවනේ.
ප්‍රියන්ත - ඔන්න ඔන්න ආයෙමත් හාමුදුරුවොලු
මම - ආහ්...sorry sorry ( මට දැන් මේක වදයක් වේ‍ගනයි එන්නේ.ඒත් මම හිතලා නෙවෙයි මේ හාමුදුරුවෝ කියන්නේ..ඉබේටම කියවෙනවා)
ප්‍රියන්ත  - මම දෙයක් කියන්න වැරදියට හිතනවද?
මම - නෑ හාමුදුරුවනේ
ප්‍රියන්ත  -ඉස්සර ඔයා කොණ්ඩේ දිගට ගොතලා...බිම ගෑවෙන්න දිගට සායවල් ඇදලා Aquinas එනකොට මට හරිම අමුතු හැගීමක් ආවේ ඔයා ගැන..ඔයා හිනාවෙන්නේ පොඩි ලමයෙක් වගේ...අමුතු වෙනසක් දැක්කා මම ඔයාගෙන් උත්පලවණ්නා..(වෙන්න ඇති..මොකද ඉස්සර මම අම්මා මහපු දිග full flared (ෆ්ලෙයාඩ් )සායවල් ඇදගෙන තමා හැම තැනකම ගියේ) ඔයාට මම එවපු cards ලැබුණාද?
මම - (මලා ජෝන් කොතලාවල කිව්වලු)...ඔව් හාමුදුරුවනේ
ප්‍රියන්ත - අනේ දැන් මම හාමුදුරුවො නෙවෙයි...
මම - ආහ්...sorry sorry හාමුදුරුවනේ


දඩාස්!!! මා ඇහුනේ එච්චරයි ..මගේ හිතේ Receiver එක හයියෙන් තිබ්බද කොහෙද? අනේ මම මක් කරන්නද හාමුදුරුවනේ! මට කියවෙන්නේම හාමුදුරුවෝ කියලමනේ මම හිතුවා.





Tuesday, May 3, 2011

හාමුදුරුවො නෙවෙයි..මේ මම ප්‍රියන්ත- 1 කොටස



 ඔන්න මේ කථාවත් එකමත් එක කාලෙක එකක්..


Aquinas English Diploma එක කරන්න මම ආවේ O/L  කරලා...කිව්වට මොකෝ Entrance Exam එකෙන් කෙලින්ම select වුනේ Intermediate level එකට...ඉතින් Intermediate level pass වෙලා Aquinas යන එක නැවැත්තුවා. Final කරන්න ආයේ මම Aquinas ආවේ A/L Exam ඉවර වෙලා...ඒ වෙනකොට මාත් එක්ක Intermediate level කරපු යාලුවෝ එක්කෙනෙක්වත් හිටියේ නැහැ.අලුත් අය තමා හිටියේ ඒ class එකේ
ඉතින් ඒ අය අතර බොහොම තරුණ හාමුදුරුවරු තුන් නමක් හිටියා .එක නමක් බුරුම..එක නමක් තායි..එක නමක් ලංකාවේ..ඒ නම පියරතන හාමුදුරුවෝ කියලයි හැදින්වුයේ අපි.ඉතින් මේ හාමුදුරුවරු තුන් නමම බොහෝම මිත්‍රශීලි වුණා අපිත් එක්ක.
අපිට උගන්වපු හැම lecture කෙනෙක්ම වගේ Retire වුණු English teachers  ලා...ඒ නිසා Grammar  වගේ subject boring වුණා අපිට..ඒත් Grammar කියන්නේ ආත්ම 7 ක් කලත් ඔච්චරනේ! නිසා අපි වැඩිය ගණන් ගත්තේ නැහැ.අපිට තිබ්බ subjects වලින් Literature තමා interesting ම subject එක වුනේ අපිට( කිසි දෙයක් තේරුනේ නැති වුනාට මොකෝ Final year එකේදි Literature වලට අපිට තිබ්බා Romeo Juliet..ඒ නිසා Aquinas Auditorium එකේදි Romeo Juliet Film එකත් බලන්න හම්බවුණා නොමිලේම ඔන්න).. Composition and Comprehension වලදි කොයි වෙලෙත් Dictionary එකක් අතේ තියෙන එක ඇගට ගුණ වෙච්ච හින්දා Oxford Mini Dictionary එකක් අරගෙන Ever ready පිට තමා අපි හිටියේ...
ඉතින් පොඩි කාලේ ඉදලා පොත පතට දක්වපු ආදරේ නිසාම මම කරන්නේ පොතක් අලුතින් ගත්ත ගමන් අනන්‍යතාවය තහවුරු කරගන්න එක..ඒ කියන්නේ මුල් පිටුවේ හරි අග පිටුවේ හරි මගේ නම ගම ජාතකේ සදහන් කරන එක...මොකෝ මම කියවන්න ආස නිසා ඉස්සර මට හැමෝම වගේ තෑගි වලට දුන්නේ පොත්...මගේ තිබ්බ නවකථා ලැයිස්තුවෙන් භාගයකටත් වඩා මගේ නෑදෑයින් අතින්ම එහෙට මෙහෙට වෙලා මට නැතිව ගිය නිසා තමා මම ඔය අනන්‍යතාවය තහවුරු කරගන්න වැඩේ පුරුදු වුනේ
ඉතින් මගේ Oxford Mini Dictionary... එකෙත් නම/ ගම/ උපන්දිනය/ ගත්ත දවස/address/telephone no (land phone no )එක සේරම දක්වලා තිබ්බේ..හදිසියේ පන්තිය ඇතුලෙදි එහෙට මෙහෙට වුනොත් සත්ගුණවත් ඇත්තන් ඒක මට නැවත ලබා දේවි කියන අරමුණින්...
ඉතින් කතන්දරේට යමුකෝ....


ඔන්න අපේ හාමුදුරුවන්ට තිබ්බේ නැහැ.Oxford Mini Dictionary එකක්...පියරතන හාමුදුරුවෝ ඒ නිසා ගොඩක් වෙලාවට මගෙන්  Mini Dictionary එක ඉල්ල ගන්නවා...දවසක් Composition වෙලාවෙදි මගෙන් ඒක ඉල්ල ගත්තා ..Composition  වලට අපිට හිටියේ බොහොම ප්‍රිය මනාප ලස්සනට පිළිවෙලට ඇදලා ඇට මාලයක් එහෙම දාගත්ත විනෝදශීලී ගුරුවරියෙක්...ඒ වෙලාවේ අපිට words ටිකක් දීලා ඒවයේ meaning එක එන විදිහට Sentences හදන්නයි තිබ්බේ..දැන් මම දන්නැති වචන ටිකක් තියෙනවා ..බලන්න විදිහක් නැහැ Dictionary එක හාමුදුරුවෝ ගාව...හාමුදුරුවනේ හාමුදුරුවනේ කිව්වා..ම්හූ මීක් සද්දයක් නැතිව කට්ටිය ඔලුව නමාගෙන වැඩ..මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...හාමුදුරුවෝ හිටියේ මට ඉස්සරහා පේළියේ හරියටම මගේ පුටුවට කෙලින් පුටුවේ..ඒත් මම කථා කලාට ඇහුණ පාටකුත් නැහැ...දැන් මට ඉවසන්න බැහැ කේන්තියි..ඇයි අනේ මගේ Dictionary එකෙන් මට වැඩක් ගන්න නැහැනේ...ඔන්න දැන් madam ත් එනවා අපේ පැත්තට...උඩ බලන් ඉන්නත් බැහැ....වෙන කෙනෙක්ට නම් ඇගට හරි තට්ටුවක් දාලා කථා කරන්න තිබ්බා.මේක එහෙම කරන්නත් බැහැනේ..මම පෑන අරගෙන පෑනෙන් හාමුදුරුවන්ට තට්ටුවක් දැම්මේ කරන්න දෙයක් නැති කමට....
Hey Uthpalawanna ! you shameless girl..why did you touch like that Rev. Piyarathana'? මහ හයියෙන් එහෙම ඇහුවේ අපේ Composition lecturer...මම හිතන්නේ ඒ වෙලේ මගේ කන් දෙකින් දුම් කෝච්චි 10 කවත් දුම් එක පාරට පිටවෙන්න ඇති කියලා.අනේ කූඹියෙක්වත් වුනා නම් වලකවත් හැංගෙන්න තිබ්බා...
අනේ නැහැ Madam මම Rev. Piyarathana ඇල්ලුවෙවත් නැහැ..මගේ Dictionary එක ගන්නයි පෑනෙන් තට්ටු කලේ..මට ඉතින් දන්න ඉංග්‍රීසියත් අමතක වෙලා සිංහලෙන්ම කියවුණා ...මට ඔන්න ඇඩෙන්න මෙන්න ඇඩෙන්න වගේ ලැජ්ජාවටම. "අනේ අනේ මේ උත්පලවන්ණාත් හිමිජ්ජා වගේ ඉදන් කරන වැඩ.." Composition lecturer කිව්වා.
( මගේ වාසගම තියෙන්නේ නම ඉස්සරහට වුනු නිසා register එකේ මගේ නම තිබ්බේ මුලකුරු වලට පස්සේ උත්පලවණ්නා කියලා.අපේ lectures ලත් ඉතින් මට ඒ නමෙන්ම තමා කථා කලේ දිග පළල බලන්නැතිව)
අපේ පංතියේ එවුන්ට මේක ඇති ඉතින් පණ යනකම් හිනාවෙන්න....ඕකෙන් මේකෙන් "උත්පලවන්ණා නැගණිය " කිය කියා අපේ පියරතන හාමුදුරුවොත් මාත් එක්ක බොහොම සමීප වුනා.