There was an error in this gadget

Wednesday, June 22, 2011

මගේ හදවත



මගේ හදවත විලකි
එන්න ඔබ එහි පාරු පදවන්න...
මා ඔබේ සෙවනැල්ල තුරුලු කරගමි
ඔබ දෙසට මැණික් කැට විලස එළිය දෙමි...

මගේ හදවත ඉටිපහන් එළියකි
කරුණාකර මා වෙනුවෙන් ජනේලය වසන්න...
මම ම දැවෙන්නෙමි
නිසසලව අන්තිම බිංදුවටම...


මගේ හදවත සැරිසරන්නෙකි
ඔබේ බටනලාව මා වෙනුවෙන් වයන්න..
මා නිසල රාත්‍රීන්හි නතර වන්නම්..
පුර සඳ යට
ඔබ වයන හඩ අසමින් ....


මගේ හදවත බිම වැටෙන කොලයකි..
ඔබේ මිදුලේ මොහොතකට ඉඩ දෙන්න..
ඔබ හැර යමි..තනිවූ සැරිසරන්නකු ලෙස
නැවත සුළග පැමිණි කල්හි.. 
                                                         (My Heart - by Kimtong Myoung)
ඉපදුණුදා මා හඩා වැටෙන්නැති..
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී..
දෙතනේ කිරි දි මා නලවන්නැති..
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...



බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇතී
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...


මට නැගිට්න්නට ඔබ අත දෙන්නැති
අම්මා මා සිප ගන්න ඇතී
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...

වන්දි ගෙවන්නට අද මට පින්නැති
බුදුන් වදින ලෙස වදිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇතී...



(මේකෙ ගායනය කාගෙද දන්නැහැ හරියටම හිතන විදිහට මල්කාන්ති නන්දසිරි මහත්මියගෙ වෙන්නෝන...)

Tuesday, June 21, 2011



ළමා වියේ කිරි සුවද ගිහින් නැති
ළමා වියේදී කසා වතක් හැද
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ...
තනිවම හිතිලද මහණ වුනේ...


සසර පුරුද්දක් සි‍තේ තියෙන්නැති...
පෙර සංසාරෙදි පිං කරලා ඇති...
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ...
තනිවම හිතිලද මහණ වුනේ...


                                 පොඩි හාමුදුරුවො වාගේ සුරතල්...
                                 පුංචි ලමුන්ගේ කෙළි සෙල්ලම් දැක..
                                 සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ 
                                 සෙල්ලම් පිට්ටනි පහු කරලා...

                                                                      ගායනය- මාලනි බුලත්සිංහල මහත්මිය

Monday, June 13, 2011

දුවට මවක මිස.....



පුංචි කුසුමක් පිපී අවුදින්...
කිරි සුවදමයි ගලා ආවේ.....
ඉහිරෙනා පිණි කැට සිනාසී...
හිරු රැසේ නුඹ ගැනයි ලීවේ.....

මේක මම ලියන්න හිතුවේ ඊයේ අපේ ඉස්සරහා ගෙදර සිදු වුණු සිදුවීමක් නිසා...ඒ ‍ගෙදර හිටියේ අපේ දෝණිගේ වයසේ දුවක්...දවස් 3 කට 4 කට කලින් ඒ ගෙදර අක්කා ඇවිත් කිව්වා ඒ දුව වැඩිවිය පැමිණිලා උත්සවය තියෙන්නේ 13 වෙනිදා. ඒකට එන්න කියලා...අවුරුදු 7 ක් කියන්නේ මොන වයසක්ද දෙවියනේ කියලා ඒක අහපු මගේ හිත එච්චරටම හිරි වැටුනේ මගේ දුවගෙ වයසත් ඒකම නිසා වෙන්නැති...
ඊයේ ඒ ගෙදර ඒ උත්සවය ගත්තේ අහල ගම් 7 කට 8 කට කියලා...අපි ඒ උත්සවයට සහභාගි වුනේ රෑ වෙලා...දුව කෑ ගහනවා අම්මා දැන් කේක් කපලත් ඉවර ඇති කියලා...එයාගේ හිතේ උපන්දින උත්සවයක් කියලා....මිනිස්සු වැල නොකැඩි එද්දි දිගට දිගේ දිලිසෙන ගවුමක් ඇදගෙන ගේ පුරා දුව දුව හිටපු ඒ දුව දකිද්දි මට දැනුනේ පුදුම දුකක්..ඒ වගේම මේ අම්මලා තාත්තලා ගැනත් නොපැහැදීමක්...මේලොකේ දෙයක් නොතේරෙන ඒ අහිංසකී ගේ වටේ සෙනග ගොඩේ දගලනකොට අර අම්මලා තාත්තල වෙන වෙන සිහි වලින් හිටියේ....මම අපේ අම්මලට කිව්වේ අර පොඩි එකීගේ සිද්ධිය මේ මිනිස්සු මෙච්චර පැතිරෙව්වේ ඇයි කියලයි...
ඒ කොහොම වෙතත් පහු ගිය දවස් වල පත්තර බැලුවම මේ ගෙවෙන්නේ පොඩි දරුවන්ට සුභ කාලයක් නොවෙන වගයි මට හිතෙන්නේ....හුගක් කරදර වලට මුල අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල හා නොදැනුවත් කම...දවසක් පත්තර වගයක් බලලා ඒවා වල තිබ්බ දේවල් මගේ හිතට හරි වදයක් වුණා..මොකද අපේ දුවගේ තියෙන්නේ බො‍හොම කුතුහලයට විමසිල්ලට පත් වෙන හිතක් නිසා...එයා බයත් අඩුයි...සමාජශීලී වැඩියි කියලාත් වෙලාවකට මට හිතෙනවා..

.ඒ නිසා මම දුවට කථා කරලා කිව්වා පුතා අම්මා ලග නැතිව කොහෙවත් යන්න එපා...ඔයා අම්මත් එක්ක ඉන්න වෙලාවට අම්මාට පේන මායිමෙන් ඉන්න ඕන හැම තිස්සෙම කියලා...දුවත් ඉතින් කට ඇරගෙන ඉන්නවා...ඒත් මගෙ හිතට එන දේවල් විස්තර කරන්න දුව බො‍හොම පොඩි වැඩී...ඒ වුනත් ...මම කිව්වා පුතේ අපි පිට ගේකට අපේ නෑ ගේකට ගියත් ඔයා කාමර වලට එබෙන්න යන්නෙපා ...විශේෂයෙන් boys ලාගේ කාමර වලට එ‍බෙන්න යන්න එපා කියලා..
ඒ පාර මෙන්න දුව මට කියනවා ඉතින් අම්මා තාත්තාත් boy කෙනෙක්නේ එහෙනම් කියලා...
අනේ ඉතින් මම් කොහොම තේරුම් කරන්නද පුතේ ඔයාට...මේ ලෝකේ හැටි....දුවෙක් ඉන්න හැම අම්මෙකුගේම සිතේ ඒ හැගීම ඇති...දැන් දුවලා නෙවෙයි පුතාලත් ඒ වගේම පරිස්සම් කරන්ගන්න ඕන....මම දුව ව ලගට කරගෙන කුමරි තොටිල්ලෙන් කවි ටිකක් කියලා දුන්නා එයාට ඒ පාර..

උත්තම තලතා දේවී
නුවණින් අගතැන්පත් වී
එනුවණ ලැබ ගන්නට වී
රිය කරපන් සීදේවී...

ඉටු කරනට තම යුතුකම
මැලි නොම වෙමි විටෙක කිසිම...
කියා සිතුම එලෙස කෙරුම..
සිගිති දුවට වැඩකි උරුම...

සිරි සගබෝ දේවි එදා...
අත්තන ගලු කැලේ මැදා..
තම හිමිගේ සිරුර බදා..
වැලපුණි දිවි හිමිට පුදා....

ජාලිය හා ක්‍රිෂ්ණ ජිනා ..‍
දන් දුන් පසු හිමි විසිනා...
මන්ද්‍රි දේවි එබැව දැනා...
දොම්නස පෑවා බැතිනා..

ඛේමා උප්පලවණ්නා..
පටාචාර දම්දින්නා...
බද්ධසෝන මුණි ගෙන්නා..
ගරු තනතුරු ලැබ උන්නා....

Tuesday, June 7, 2011

වයිටා....

වයිටා කියන්නේ අපේ ගෙදර සුරතල් බලු පැටික්කියා...ඌ කුරු බල්ලෙක්...උගේ අම්මාට පැටවු ලැ‍බෙන්න ඉද්දි අපේ ගෙදර ආවේ..ඒ පැටවුන්ගෙන් ලස්සන අය එක එක්කෙනා අරන් යද්දි වයිටා තමා උගේ අම්මාත් එක්ක අපේ ගෙදර නැවතුනේ....වයිටාගේ අම්මාට අපි කිව්වේ ලොක්කි කියලා...වල්ටේෂන් උනාට මොකෝ බොහොම කෙළෙහි ගුණය ඇති සමහර මිනිසුන්ටත් වඩා හොද ගතිගුණ ඇති බැල්ලියෝ දෙන්නෙක් මේ දෙන්නා..වයිටාගේ අම්මා ගිය අවුරුද්දෙ නැති වුණා....දැන් වයිටාට අවුරුදු 3  1/2 ක් විතර ඇති...ඒත් අපේ වයිටාට ගිය අවුරුද්දේ පොඩි accident එකක් වෙලා operation එකක් කලා... ඒ නිසා ඌට පැටවු හිටියේ නැත්නම් හොදයි කියලා doctor කිව්වට එහෙම දෙයක් කරලා ඌට පැටවු නැති කරන්න දුක හිතුණා අපිට...ඉතින් ඔහොම ඉදලා දැන් වයිටා අම්මා කෙනෙක් වෙන්න ආවා..ඒත් අපිට තේරෙනවා මේ දවස් වල වයිටා හරිම අපහසුවෙන් හැසිරෙන්නේ කියලා..ඌ ඉස්සරහා දොර ගාව ඇල වෙලාමයි දවස ගෙව්වේ...ඔය අස්සේ අම්මා අපිට කන්න හදපු මස් හට්ටියක්ම වයිටාට කන්න දීලා අපේ දොණියැන්දා දවසක් බලනකොට..මට කියනවා ඉතින් අම්මා අපිට නම් උයාගෙන හරි කන්න පුලුවන් නේද?වයිටාට උයන් කන්න පුලුවන්ද? අම්මාම කියනවනේ මම හම්බවෙන්න ඉන්නකොට අම්මට අරවා මේවා කන්න ආසා හිතුණා කියලා...ඉතින් වයිටා පවුනේ අම්මා..ඒකයි මම එහෙම කලේ කියලා...
පෙරේදා අපි ගෙදර යනකොට ඉස්සරහ ගෙදර අක්කා දුවගෙන ඇවිත් කිව්වා අනේ නංගි ඔයාලාගේ බල්ලා අන්න උඩහ ගෙදර පාර අයිනේ වැටිලා පණ අදිනවා කියලා...සාරිය පිටින්ම දුවත් අතින් ඇදගෙන මම දිව්වා වයිටා බලන්න..අර ලොකු බඩ ගෙඩියත් එක්ක පණ ඇදලාම ඌ මැරිලා ගිහින්..ඒක දැකලා අපි දෙන්නම ඇඩුවා..දුව අඩනවා එයාට වයිටාම ගෙනත් දෙන්න කියලා තාමත්..එයාගේ පාලුවට එයාට හිටියේ වයිටා විතරයි සෙල්ලම් කරන්න..මම කිව්වා පුතේ වයිටා ආපහු එයි..එයා හොද ආත්මෙක ඉපදෙයි කියලා..ඒත් දුව අහන්නේ එතකොට වයිටා එයාව අදුණා ගනීද කියලා...ඒකට දෙන්න මට උත්තරයක් නැහැ.අපි ඌව පස් යට තනි කරලා ගෙදර ආවාම දුව බුදු පහන ලගට වෙලා වයිටා එයාගේ හොදම යාලුවා ..එයාව ආපහු එවන්න කියා කියා බුදු හාමුදුරුවන්ට කියනවා මම අහගෙන හිටියේ මගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි..
ඇත්තටම වයිටා කියන්නේ හුගාක් හොද ගතිගුණ තිබ්බ ..හොදම හොද බල්ලෙක්...ඌට හොද ආත්මයක් ලැ‍බෙනවාම තමා..ඒත් එදාට අපිව දැකලා අපිව අදුනාගෙන නැට්ට වනාගෙන අපි ඉස්සරහට උඩ පැනගෙන දුවගෙන එන එකක් නැහැනේ ආපහු.....